කස්සප හිමි ඇතුළු පිරිසට ඇප
February 11, 2026 03:21 pm
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් 10දෙනා ඇප මත මුදාහරින ලෙස ත්‍රිකුණාමලය මහාධිකරණය නියෝග කර තිබේ.
ඒ කස්සප හිමියන් ඇතුළු සැකකරුවන් පිරිස සම්බන්ධයෙන් අදාළ ඇප ඉල්ලීම අද (11) මහාධිකරණය හමුවේ සලකාබැලූ අවස්ථාවේදීය.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදුපිළිමයක් තැන්පත් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් සහ භික්ෂුන් වහන්සේ සිව්නමක් ඇතුළු සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඉකුත් සඳුදා මෙම පිරිස ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥවරිය ඔවුන්ගේ ඇප ඇයැදුම් සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට දින 02ක කාලයක් ඉල්ලා සිටියාය.
අනතුරුව රජයේ නීතිඥවරියගේ ඉල්ලීමට අවසර ලබාදෙමින් මහාධිකරණය ඇප අයැදුම් සම්බන්ධයෙන් මූලික විරෝධතා වෙතොත් ඉදිරිපත් කරන ලෙස දන්වමින් ඇප අයදුම් සලකා බැලීම අද (11) දිනය දක්වා කල් තැබීය.
