2026 ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය ඇරඹෙයි
February 11, 2026 02:01 pm
2026 වර්ෂයට අදාළව ඡන්දහිමි නාමලේඛනය සඳහා ගණන් ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පවසයි.
'දෙරණ බිග් ෆෝකස්' වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර සිටියේය.
එහි සුදුසුකම් ලැබීමේ දිනය ලෙස සැලකෙන්නේ පෙබරවාරි මස 01වනදා වන බවත් එම දිනය වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සහ එම ප්‍රදේශයේ පදිංචිය තහවුරු කළ අයට ඡන්දහිමි නාම ලේඛනය සඳහා ඇතුළත් වීමේ හැකියාව පවතින බව ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී සඳහන් කළේය.
මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පවසා සිටියේ ඡන්ද හිමි නාමලේඛනය සඳහා තොරතුරු ලබා ගැනීමට, ගෙයින් ගෙට යමින් දත්ත එකතු කිරීමේ ක්‍රමවේදය හා යාවත්කාලීන ක්‍රමය, එනම් ඇතුළත් කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේදය අනුගමනය කරන බවය.
2026 සඳහා තොරතුරු එකතු කිරීමේ දී අනුගමනය කරන්නේ යාවත්කාලීන ක්‍රමය එනම් ඇතුළත් කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේදය වන බවද ඒ මහතා සඳහන් කර සිටියේය.
සුදුසුකම් ලැබීමේ ලේඛනයට ඇතුළත් කිරීමේ දී පෙබරවාරි 01වනදා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ වන අය හා පදිංචිය වෙනස් කළ අය ඇතුළත් වන අතර ඉවත්වීමේ ලේඛනය සඳහා මියගොස් සිටින පිරිස ඉවත් කිරීම හා පදිංචිය මාරු කිරීම ඇතුළත් වන බවද ඔහු එහිදී සඳහන් කළේය.
එමෙන්ම ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවි හරහා ඊ - සේවාවක් හඳුන්වා දී ඇති අතර එහි මේ වන විට 2026 කෙටුම්පත ප්‍රදර්ශනයට පත් කර ඇති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටී.
එහිදී මහජනතාවට තමන්ගේ නම ඇතුළත් වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කර බැලීමේ හැකියාව පවතින අතර යම් ලෙසකින් තමන්ගේ නම ඇතුළත් වී නොමැති නම් එහි ඇති උපදෙස් පරිදි ගිණුමක් ආරම්භ කර ඉල්ලීම් සිදු කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
එම ඉල්ලීම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අදාළ ග්‍රාම නිලධාරීන් වෙත යොමු කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
එමෙන්ම තමන්ගේ තොරතුරුවලට අදාළව යම් සංශෝධනයක් සිදු විය යුතු නම් එනම් ලිපිනය, නම, හැඳුනුම්පත් අංකය, ගෘහ අංකය වෙනස් විය යුතු නම් මෙම වෙබ් අඩවිය හරහා ඊට අදාළ ඉල්ලීම් කිරීමේ හැකියාව පවතින බවද ඒ මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සිය වෙබ් අඩවියට පිවිසීම හරහා ග්‍රාම නිලධාරීවරයා ඇමතීමට ද අවස්ථාව සලසා දී ඇති බවය.
කිසියම් පුරවැසියෙක් විසින් නාමලේඛනය තුළ තමන්ගේ නම් ඇතුළත් නොවන බවට ඉල්ලීම් සිදු කර ඇත්නම් ඔවුන්ගේ නිවෙස්වලට ගොස් අවශ්‍යතාවය සම්පූර්ණ කර දෙන ලෙසට ද ග්‍රාම නිලධාරීන්ට උපදෙස් දී ඇති බව ද එහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පැවසීය.
එමෙන්ම සියලුම ග්‍රාම නිලධාරී කාර්යාලවල මේ වන විට 2026 කෙටුම්පත ප්‍රදර්ශනය කරන අතර ඒ හරහා ද තමාගේ නම, ලේඛනය තුළ ඇතුළත් වන්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ හැකියාව පවතින බව ඔහු එහිදී සඳහන් කර සිටියේය.
ඡන්දහිමි නාමලේඛනය සඳහා ප්‍රාදේශීය වශයෙන් තොරතුරු එකතු කිරීම පෙබරවාරි 01වනදා සිට 28වනදා දක්වා සිදුවන බවද ඒ මහතා පැවසීය.
ග්‍රාම නිලධාරීන්ගෙන් ගත් තොරතුරු හරහා ඇතුළත් කිරීමේ හා ඉවත් කිරීමේ ලේඛනයන් සකස් කර ප්‍රාදේශීය මැතිවරණ කාර්යාලවලට භාරදීම මාර්තු 03වනදා සිට 28වනදා දක්වා සිදු කරන බවද සඳහන් වේ.
එම තොරතුරුවලට අනුව නාමලේඛනය නැවත ලැයිස්තු ගත කර මැයි 5වනදා සිට ජුනි 01වනදා දක්වා දින 28ක කාලයක් ප්‍රදර්ශනය කිරීමට නියමිත බවද කොමසාරිස් ජනරාල් රසික පීරිස් මහතා පැවසීය.
ඒ අනුව තමන්ගේ නම සුදුසුකම් ලැබීමේ ලැයිස්තුවේ නොමැති නම්, මෙම දින 28ක කාලය තුළ ඒ අයට නැවත හිමිකම් ඉල්ලීමේ අවස්ථාව සලසා දී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම අදාළ ලේඛනය තුළ තමා පිළිබඳව යම් වැරදි තොරතුරු අන්තර්ගත වී ඇත්නම් විරෝධතා ඉදිරිපත් කිරීමට ද මෙම දින 28ක කාලය හරහා අවස්ථාව සලසා දී ඇත.
ඉන් අනතුරුව හිමිකම් සහ විරෝධතා පරීක්ෂණ පැවැත්වෙන අතර සැප්තැම්බර් 15වන දින 2026 ඡන්දහිමි නාමලේඛනය සහතික කිරීමට අපේක්ෂා කරන බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
