කස්සප හිමි ඇතුළු පිරිස අධිකරණය වෙත රැගෙන එයි
February 11, 2026 09:14 am
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (11) යළි අධිකරණයට ඉදිරිපත් කළේය.
ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක් මෙලෙස අද යළි අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම පිරිස පසුගිය 9 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබීය.
ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කර තිබූ පැමිණිල්ලට අනුව මෙම නීති කෘත්‍ය ක්‍රියාත්මක වෙයි.
