ඇන්තූරියම් පැළ තොගයක් කටුනායක දී රේගු භාරයට

ඇන්තූරියම් පැළ තොගයක් කටුනායක දී රේගු භාරයට

February 7, 2026   08:12 am

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා ඇන්තූරියම් පැළ තොගයක් සමග ඒවා රැගෙන ආ මෙරට කාන්තාවන් දෙදෙනෙකු අද (7) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන්, ජෛව විවිධත්ව සංස්කෘතික හා ජාතික උරුමයන් සුරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් එක්ව මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇත.

මෙම කාන්තාවන්ගෙන් එක් අයෙකු කොළඹ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි අයෙකු වන අතර, අනෙක් තැනැත්තිය 40 හැවිරිදි වියේ පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්ය.

මොවුන් දෙදෙනා තායිලන්තයේ සිට කටුනායකට පැමිණ තිබේ.

ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ ඇන්තූරියම් පැළ 436ක් තිබී සොයාගෙන ඇත.

කෙසේ නමුත් ඒ සඳහා ඔවුන්ට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආනයනය බලපත්‍රය තිබී නොමැත.

ඔවුන් වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ සහ ශාක නීරෝධායන පනතේ විධ්විධාන උල්ලංඝනය කරමින් මෙම පැළ තොගය රැගෙන විත් තිබේ.

අදාළ කාන්තාවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන්ගේ භාරයේ අත්අඩංගුවේ පසුවේ.