පිය-පුතු දෙපොළට දිවි අහිමිකළ බිහිසුණු අනතුර

පිය-පුතු දෙපොළට දිවි අහිමිකළ බිහිසුණු අනතුර

February 6, 2026   07:03 am

අක්මීමන පොලිස් වසමේ නුගදූව විදුලි සංඥා කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (05) සවස පනාගමුව ප්‍රදේශයේදී, පින්නදූව අධිවේගී මාර්ග පිවිසුමෙන් පිටතට පැමිණ ගාල්ල දෙසට ධාවනය වූ මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරුවන් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදිකරු සහ පසුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

එලෙස මියගොස් ඇත්තේ වලහන්දූව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 36 සහ 16 වයස්වල පසුවූ එකම පවුලේ පියා සහ පුත්‍රයා බව අනාවරණය වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, අක්මීමන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මේ අතර මාරවිල පොලිස් වසමේ පෑලියගොඩ පුත්තලම මාර්ගයේ මාරවිල නගරය ආසන්නයේදී හලාවත දෙස සිට වෙන්නප්පුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. 

අනතුරින් පදිකයා තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, තලවාකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙකි.

අදාළ අනතුර සම්බන්ධයෙන් යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.