ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට ඇමති චන්ද්‍රසේකර්ගේ විරෝධය

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට ඇමති චන්ද්‍රසේකර්ගේ විරෝධය

February 2, 2026   06:38 pm

අසත්‍ය චෝදනා එල්ල කරමින් මෙරට ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් එල්ල කළ ප්‍රහාරයට දැඩි විරෝධය පළ කරන බව ධීවර අමාත්‍ය රාමලින්ගම් චන්ද්‍රසේකර් මහතා පවසයි.

අදාළ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද(02) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ මෙම පහර දීමේ සිදුවීම සම්බන්ධයෙන් ඉන්දිය මහා කොමසාරිස් කාර්යාලය ද දැනුවත් කර ඇති බවය.

වෙන්නප්පුව, වෙල්ලමන්කරය වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය ධීවර යාත්‍රා දෙකක සිටි ධීවරයින් 12 දෙනෙකුට පසුගිය 29 වනදින මෙරට මුහුදු සීමාවේදී ඉන්දිය වෙරළාරක්ෂක නිලධාරීන් පහරදීමක් සිදුකර තිබුණි.

ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමෙන් අනතුරුව මෙරටට පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුව ඇති බව ධීවරයින් පැවසීය.

මේ වන විට පහර කෑමට ලක්වු ධීවරයින් සිව්දෙනෙකු නාවික හමුදාවේ යාත්‍රාවක් මඟින් ගොඩබිම වෙත රැගෙනවිත් ගාල්ල කරාපිටිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර පහරකෑමට ලක්වු තවත් ධීවරයින් 06දෙනෙකු රැගෙන ඒම සඳහා නාවික හමුදාවේ නෞකාවක් පිටත්ව ගොස් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසීය.

මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් රජය විසින් විනිවිඳ පරීක්ෂණයක් සිදුකළ යුතු බව සමස්ත ලංකා බහුදින ධීවර යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති ටිරෝන් මෙන්ඩිස් මහතා සඳහන් කළේය.

"යාත්‍රා තුනකට පහර දීලා තියනවා..දෙකකට පහර දීලා තියෙන්නේ ලංකාවේ මුහුදු තීරයේදී..ලංකාවේ බෝඩරේ ඉඳන් අපේ මුහුදු සීමාව ඇතුළට ඇවිල්ලා තමා ගහලා තියෙන්නේ. එහෙම පහර දෙනෙකල් අපේ බලධාරීන් මොනවද කළේ කියලා අපි මුලින්ම අහන්න ඕනේ. ඒ ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න ඕනේ. පහර දීලා තියෙන්නේ අමානුෂික විදිහට. ඒ ගැන හොයා බලන්න කියලා අපි අපේ ඇමතිවරු දෙන්නට කියනවා. නාවික හමුදාවෙනුත් අපි ඉල්ලා සිටිනවා මේ ගැන විදිමත් පරීක්ෂණයක් කරන්න කියලා. අපේ ධීවරයින්ට පහර දීලා යනකල් මොනවද කළේ කියලා අපි නාවික හමුදාවෙනුත් අහනවා."

කෙසේවෙතත් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළදී මෙලෙස ධීවරයින් පිරිසකට ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් පහරදීමේ සිද්ධියට අදාළව මෙරට ධීවරයින්ගේ ආරක්ෂාව සැපයීම පැහැරහැර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් 'අද දෙරණ' නාවික හමුදාවෙන් විමසීමක් සිදුකළ අතර එහිදි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ, මෙරට මුහුදු සීමාවට එක්වර ආවේක්ෂණය කිරීම ප්‍රායෝගික නොවන බවය.