කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය මෙන්න

කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය මෙන්න

January 30, 2026   03:17 pm

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවත් සමග ආපදාවට පත් ජනතාව වෙත සහන සැලසීමේ සහ වන්දි ගෙවීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය පරිපාලන  පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා අද (30) පැහැදිළි කිරීමක් සිදුකළේය.

එමගින් අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වා දුන්නේ මේ වන විට ආපදාවෙන් විපතට පත් ජනතාවට වන්දි ගෙවීම් කටයුතු බොහෝ දුරට අවසන් අදියරේ පවතින බවත්ය.

ඒ අනුව ආපදාවෙන් විපතට පත්වූවන්ගේ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා වූ රුපියල් 25,000 දීමනාව ලබා දිය යුතු නිවාස ඒකක 434,375ක් හඳුනාගත් බවත් ඉන් නිවාස ඒකක 423,914කට මේ වන විටත් අදාළ වන්දි මුදල් ගෙවා අවසන් කර ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

තවද ආපදාවෙන් විනාශ වූ ගෘහ භාණ්ඩ සහ උපකරණ යථාවත් කර ගැනීම සඳහා රුපියල් 50,000 දීමනාව ලබා දීම සඳහා නිවාස ඒකක 163,509ක් හඳුනාගෙන ඇති බවත් ඉන් නිවාස ඒකක 115,757කට එම දීමනාව ලබා දීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යංශ ලේකම් ආලෝක බණ්ඩාර මහතා පැවසීය.

තවද සිසු දරුවන්ට රුපියල් 15,000ක දීමනාවක් ගෙවීමටද මාර්ගෝපදේශ නිකුත් කළ බවත් ඒ යටතේ ආපදාවෙන් පීඩාවට පත් සිසු දරුවන් 195,157ක ප්‍රමාණයක් හඳුනා ගැනීමට පියවර ගත් බවත් පැවසූ ඒ මහතා සඳහන් කළේ ඒ යටතේ සිසු දරු දැරියන් 141,382කට මේ වන විටත් රුපියල් 15,000 දීමනාව ගෙවා අවසන් කර ඇති බවය.

එමෙන්ම ආපදාවට පත් පිරිස් සඳහා වන්දි මුදල් ලබා දීමේදී එහි නිරවද්‍යතාව  සහ ආපදාවට ලක්වූවන් නිවැරදිව හඳුනා ගනිමින් වන්දි මුදල් ලබා දීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් කටයුතු කරන බවත් පැවසූ ඒ මහතා මෙම කාර්ය ඉතා දුෂ්කර බැවින් සිදුවන ප්‍රමාදයන් සම්බන්ධව චෝදනා කිරීම සුසුදු නොවන බවද පෙන්වා දුන් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහා පැවසුවේ කඩිනමින් මෙම වන්දි ලබා දීමේ කටයුතු අවසන් කිරීමට සියලු පාර්ශ්වයන්ගේ සහයද අත්‍යාවශ්‍ය වන බවය.