සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

සජබ විරෝධය මැද පුද්ගලයකුට පහරදුන් නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

January 28, 2026   07:18 pm

හිටපු අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර නගර මධ්‍යයේ අද (28) පස්වරුවේ සමගි ජන බලවේගයේ ක්‍රියාකාරින් පිරිසක් පැවැත්වූ විරෝධතාවයක් අතරතුර පුද්ගලයකුට පහරදුන් කළුතර මහ නගර සභා මන්ත්‍රීවරයෙකු කළුතර දකුණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර මහ නගර සභා නාගරික මන්ත්‍රී ජයනාත් නවරත්න මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්ගයේ ගමන් කරමින් සිටි පහරකෑ පුද්ගලයා විරෝධතාවය ඉදිරිපිට යතුරුපැදිය නවතා "බත් කන හරක් තවමත් සිටිනවාදැයි" විමසා තිබේ.

ඊට උරණවූ සැකකාර නාගරික මන්ත්‍රීවරයා මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන්.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්ය. ඔහු පහරකෑමෙන් පසු කළුතර දකුණ මූලස්ථාන පොලිසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

පහරදීම සිදුකල නාගරික මන්ත්‍රීවරයා ද ඔවුන් විසින් පැවැත්වූ සාමකාමී විරෝධතාවයට බාධා කල බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කල බව පොලිසිය සඳහන් කරයි.

කෙසේ වෙතත් පහරකෑ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් ඇප මත මුදාහැර ඇති බව පොලීසිය පැවසීය.

හිටපු අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගෙන් මේ පිළිබඳ විමසීමේ දී ඔහු සඳහන් කළේ, එවැන්නක් වාර්තා වී ඇති බවත්, තමන් එම ස්ථානයේ නොසිටි බවත්ය.

කළුතර දකුණ මූලස්ථාන පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වති.