නීතිපති ඉවත් කිරීම ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති 

නීතිපති ඉවත් කිරීම ගැන කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක් නැහැ - අධිකරණ ඇමති 

January 22, 2026   02:59 pm

නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පවසයි. 

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (22) පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි. 

"සමාජ මාධ්‍ය තුළ කුමන ආකාරයේ වාර්තා පළ වුවත් නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තුළ කිසිදු සාකච්ඡාවක් සිදු කර නැහැ. නීතිපතිවරයා ආරක්ෂා කළ යුතු බවට සමාජ මාධ්‍ය අදහස් පළ වෙනවා. 

ඔහු ඉවත් කළ යුතු බවට සමාජ මාධ්‍ය වාර්තා පළ කරනවා. නීතිපතිවරයා පමණක් නොවෙයි අධිකරණ අමාත්‍යවරයාත් ගෙදර යවන්න කියලා සමහර සමාජ මාධ්‍ය වාර්තා පළ කර තිබුණා. 

මට කියන්න තියෙන්නේ මෙච්චරයි. අධිකරණ ඇමති ගැන හෝ කවුරු හරි ගැන පැමිණිලි තිබෙනවා නම් මේ රටේ නීතිය සැමට එක හා සමානව ක්‍රියාත්මක වෙනවා. පැමිණිලි කරන්න පුළුවන්. 

සමාජ මාධ්‍යවල පළ කරන දේවල්වලට ආණ්ඩුවේ සම්බන්ධයක් නැහැ. නීතිපතිවරයා ඉවත් කිරීම ගැන හෝ දෝෂාභියෝගයක් පිළිබඳව කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා වෙලා නැහැ."