නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

January 18, 2026   06:34 am

හිටපු අමාත්‍යවරයකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

මිය යන විට ඒ මහතා 63 වන වියේ පසුවුණි.

1962 වසරේ සැප්තැම්බර් 7 වනදා පානදුර ප්‍රදේශයේදී උපත ලැබූ නන්දන ගුණතිලක මහතා ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන සාමාජිකයකු වේ. 

1999 වසරේ පැවති ජනාධිපතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ද ඔහු ඉදිරිපත් වුණි.

2009 වසරේදී එක්සත් ජනතා නිදහස් සංධාන රජයේ සංචාරක අමාත්‍ය ධූරයේද වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධූරයේ ද නන්දන ගුණතිලක මහතා කටයුතු කරනු ලැබීය.

පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය හරහා සිය දේශපාලන කටයුතු සිදුකළ ඔහු එම පක්ෂය නියෝජනය කරමින් පානදුර නගර සභාවේ සභාපති ධූරයේද කටයුතු කරනු ලැබීය.

වත්මන් රජය විසින් ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ යෝජනාවට එරෙහිව නන්දන ගුණතිලක මහතා අවස්ථා ගණනාවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකර තිබුණි.