ආපදා තත්ත්වය අවම කරගැනීමට අපොහොසත් වීම ගැන ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දිනදෙයි

ආපදා තත්ත්වය අවම කරගැනීමට අපොහොසත් වීම ගැන ගොනුකළ පෙත්සමක් සලකාබැලීමට දිනදෙයි

January 16, 2026   05:35 pm

'දිට්වා' සුළි කුණාටුව පිළිබඳ පුරෝකථන නිකුත් කර තිබියදී  ඇතිවූ ආපදා අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වීම තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මහනුවර ප්‍රදේශයේ පදිංචි නීතිඥවරයෙකු විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 15 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (16) කැඳවනු ලැබීය.

එහිදී රජයේ නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලය ඇතුළු වග උත්තරකරුවන් කිහිප දෙනෙකු වෙත නොතීසි ලැබී නොමැති බව සඳහන් කළේය.

ඒ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ආපදා කළමනාකරන කමිටුව ඇතුළු වගඋත්තරකරුවන් කිහිප දෙනෙකුට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයාට නියම කළේය.

මෙහිදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ කාලසීමාවේ වැසි තත්ත්වය වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොවැම්බර් මස 12 වනදා සිට පුරෝකථන ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.

ඉකුත් නොවැම්බර් 27 වනදා පෙරවරුවේ වැසි තත්ත්වය පැහැදිලිව වර්ධනය වී තිබියදී, මේ සම්බන්ධයෙන් සැලකිලිමත් නොවී එදින රාත්‍රි 11.10ට පමණ එක්වරම කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා විශාල ජල කඳක් මුදා හැරුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස පසුදා අලුයම 3 පමණ වනවිට ගම්පොළ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලය යටවූ බවත් ජනාධිපති නීතිඥවරයා කරුණු දැක්වීය.

ඉන් පසුව ගෙලිඔය, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශය ක්‍රමානුකූලව ජලයෙන් යටවූ බව ඔහු පෙන්වා දුන්නේය. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරෝකථන ලබාදී තිබියදීත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් නොසැලකිලිමත්ව කටයුතු කර තිබෙන ආකාරය මේ තුළින් මනාව පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඉන් අනතුරුව මෙම පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා ජුලි මස 15 වනදා කැඳවන ලෙසත් නියම කළේය.

නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.

එහි වග උත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා වෙනුවෙන් නීතිපතිවරයා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජාතික ආපදා කළමනාකරණ කමිටුවේ සාමාජිකයින් ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරු කියා සිටින්නේ තම නීතිඥ කාර්යාලය මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටා තිබෙන බවත් පසුගිය දිනවල ඇති වූ සුළි කුණාටු හා ගංවතුර තත්ත්වය හේතුවෙන් එම කාර්යාලය සම්පූර්ණයෙන්ම විනාශයට පත්වූ බවය. 

මෙහි ප්‍රතිඵලයක් ලෙස සිය පරිගණක පද්ධතියේ තිබූ වැදගත් දත්ත රැසක් විනාශයට පත් වී ඇති බවත්, මේ හේතුවෙන් සිය වෘත්තියට දැඩි පාඩුවක් සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දේ.

ආපදා තත්වයක් ඇතිවීමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ගේ නොසැලකිලීමත්භාවය හෝ රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් මෙවැනි විනාශකාරී තත්ත්වයක් උද්ගත වූ බවත්, ඔවුන් පෙර සූදානමින් කටයුතු කර තිබුණේ නම් සිදුවිය හැකි හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු කියා සිටියේය.

විශේෂයෙන්ම කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ජනතාව දැනුවත් කිරීමට කටයුතු කළේ නම් ගම්පොළ, ගලහ, පේරාදෙණිය සහ මහනුවර යන ප්‍රදේශවල ජලගැලීම් හේතුවෙන් සිදුවූ දැවැන්ත හානි අවම කර ගැනීමට හැකියාව තිබූ බවත් පෙත්සම්කරු පවසයි.

ඒ අනුව වගඋත්තරකරුවන්ගේ නොසැලකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.