ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරුවක් ජීවිතයත් මරණයත් අතර සටනක
January 16, 2026 05:02 pm
ඇෆ්ගනිස්තානයෙන් බිහිවූ ප්‍රධාන පෙළේ වේගපන්දු යවන්නෙකු වූ ෂාපූර් සද්‍රාන් දරුණු රෝගී තත්ත්වයකින් පීඩා විදිමින් සිටින බව ඔහුගේ සහෝදරයා විසින් තහවුරු කර තිබේ.
එරට ක්‍රිකට් ආයතනයට සමීප ආරංචි මාර්ග ද තහවුරු කර ඇත්තේ, සද්‍රාන්ගේ සුදු රුදිරාණු ගණන අසාමාන්‍ය මට්ටමකට පැමිණ ඇති බවය. ඒ හේතුවෙන් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය අතිශයින් බරපතළ බව සඳහන්.
ඇෆ්ගනිස්තාන ක්‍රිකට් තරුවගේ අනපේෂිත රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩකයන් සිය කනගාටුව මේ වනවිට ප්‍රකාශකර ඇත. ඒ අතර පාකිස්තාන හිටපු ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ලතීෆ් පවා සිටීම සුවිශේෂීය.
මේ වනවිට 38 හැවිරිදි වියේ පසුවන ෂාපූර් සද්‍රාන් ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 80කට ක්‍රීඩාකර කඩුලු 80ක් බිඳහෙළා තිබේ.
ඔහු අවසන්වරට ඇෆ්ගනිස්තානය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට සහාභාගිවී ඇත්තේ 2020 වසරේ දීය.
ඇෆ්ගනිස්තානය සිය ක්‍රිකට් ඉතිහාසයේ පළමුවරට එක්දින ලෝක කුසලාන තරගාවලියකදී ජයක් ලැබුවේ 2015දී වන අතර, ෂාපූර් සද්‍රාන් එම කණ්ඩායමේ සාමාජිකයෙකු වේ.
එහි විශේෂත්වය වූයේ ස්කොට්ලන්තයට එරෙහිව ඇෆ්ගනිස්තනය එම ජය ලැබුවේ තරගය අවසන්වීමට පන්දු 3ක් ඉතිරිව තිබියදී සද්‍රාන් එල්ලකළ හතරේ පහර හේතුවෙන්ය.
