මත්ද්‍රව්‍ය රැගෙන අධිවේගී මාර්ගයේ ගිය මෝටර් රථය හසුවූ අයුරු
January 14, 2026 05:30 pm
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුව අබියසදී සැක කටයුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේදී එම මෝටර් රථයේ පිටුපස කොටසේ තිබි හෙරොයින් කිලෝග්‍රෑම් 5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6ක් සොයා ගැනීමට දක්ෂිණ අධිවේගි මාර්ගයේ පාලටුව පිටවීමේ දොරටුවේ රාජකාරී කළ පොලිස් නිලධාරින් අද (14) දහවල් සමත් විය.
මෙම මෝටර් රථය කොට්ටාව පිවිසුමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිස මාතර පාලටුව පිටවීමේ දොරටුව ආසන්නයෙන් ඉදිරියට ධාවනය කොට නැවත දක්ෂිණ අධිවේගි මාර්ගයේ පිටුපසට රිය ධාවනය කර පාලටුව පිටවීමේ දොරටුව දක්වා පැමිණ තිබුණි.
එම අවස්ථාවේදි මෙම සිද්ධිය නිරීක්ෂණය කළ පිටවීමේ දොරටුවේ රාජකාරි කළ පොලිස් නිලධාරින් මෝටර් රථය නවතා පරික්ෂා කිරීමට උත්සහා කිරීමේදී මෝටර් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු මෝටර් රථය පිටවීමේ දොරටුව අභියස නවතා පලා ගොස් තිබේ.
එම අවස්ථාවේ වහාම ක්‍රියාත්මක වු පොලිස් නිලධාරින් පලා යන සැකකරුවන් හඹාගොස් අත්අඩංගුවට ගැනීමට සමත්වී තිබුණි.
පසුව සැකසහිත මෝටර් රථය පරීක්ෂා කිරිමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත.
මෙම සැකකරුවන් තල්පාවිල ප්‍රදේශයේදී කුලී පදනම මත රථවාහන ලබාදෙන ස්ථානයකින් මෙම මෝටර් රථය ඊයේ (13) දින කුලි පදනම මත ලබාගෙන ඇති බවත් අද (14) උදෑසන බොරලැස්ගමුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම මොටර් රථයේ පිටුපස කොටසට කිසියම් පාර්සලයක් දමා තමන්ට යන ලෙස දැනුම්දුන් බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරිම්වලදි අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට පත් සැකකරුවන් මාතර නාවිමන දකුණ හා කොටුවේගොඩ දකුණ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 20 හා 21 යන වයස්වල පසුවන පුද්ගලයන් බව පොලීසිය පවසයි.
