බංග්ලාදේශය නැතිව මෙවර T20 ලෝක කුසලානය?

බංග්ලාදේශය නැතිව මෙවර T20 ලෝක කුසලානය?

January 13, 2026   06:18 pm

ආරක්ෂක හේතූන් මත මෙවර විස්සයි20 ලෝක කුසලානයේ තරග ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණයේ එලෙසම සිටින බව බංග්ලාදේශ ක්‍රිකට් මණ්ඩලය (BCB) අද (13) යළිත්වරක් තහවුරු කළේය.

ඉන්දියාවේ ක්‍රීඩාකරන තරග ශ්‍රී ලංකාවට ලබාදෙන්නැයි ඉල්ලා බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් ICCය සමග අද පැවැත් වූ සාකච්ඡාවෙන් අනතුරුව සිය තීරණය දැනුම්දෙමින් මේ බව නිවේදනය කර ඇත.

මෙම සාකච්ඡාවේදී ICCය අවධාරණය කර ඇත්තේ, තරගාවලියේ කාලසටහන මේ වනවිට සකස්කර ඇති බවත්, ඒ හේතුවෙන් සිය ස්ථාවරය වෙනස්කළ නොහැකි බවත්ය. 

ICC පෙරේදා දිනයේ දී බංග්ලාදේශයට දැනුම්දී ඇත්තේ, මෙවර ලෝක කුසලානයේ දී බංග්ලාදේශ කණ්ඩායමට ඉන්දියාවේ දී තර්ජනයක් නොමැති බවය.

ඒ හේතුවෙන් තරග කාලසටහන සංශෝධනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම්දී ඇත.

ඒ අනුව බංග්ලාදේශයේ ඉල්ලීමට ICCයෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණ හොත්, විස්සයි20 ලෝක කුසලාන ඉතිහාසයේ (2007 සිට) අඛණ්ඩව තරගාවලි 9කට සහභාගි වූ බංග්ලාදේශය නොමැතිව මෙවර ලෝක කුසලානය පැවැත්වෙනු ඇත.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දරන මෙවර විස්සයි20 ලෝක කුසලානය පෙබරවාරි 7 වනදා ආරම්භවීමට නියමිතය. 

බංග්ලාදේශය මූලික වටයේ ක්‍රීඩාකරන තරග 4න් පළමු තරග තුන කොල්කටාහිදීද, අනෙක් තරගය මුම්බායිහිදී ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ පෙළඹවීම මත එළැඹෙන IPL තරගාවලියෙන් මුස්තාෆිසුර් රහ්මාන් ඉවත්කිරීමට ගත් තීරණය බංග්ලාදේශය, ඉන්දියාවේ තරග ක්‍රීඩාකිරීමට ප්‍රතික්ෂේප කිරීමට ප්‍රධාන ලෙස බලපෑ කරුණ විය.

ඒ හේතුවෙන් මේ වනවිට බංග්ලාදේශය තුළ IPL තරගාවලිය විකාශනය කිරීමටද තහනම් කර ඇත.