අනිද්දා සිට වැසි තත්ත්වයේ අඩුවීමක්
January 13, 2026 02:40 pm
ජනවාරි 15 වන දින සිට දිවයිනේ වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (13) සවස 2ට නිකුත් කළ කාලගුණයේ අලුත්ම නිවේදනයට අනුව ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.
කොළඹ, කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප. ව 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති වෙන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමා එන අතර, සුළගේ වේගය පැ.කි.මී. 25-35ක පමණ වේ.
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 45ක් දක්වා ඉහළ යා හැකිය.
හලාවත සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා වන අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකිය.
