දිට්වා සුළි කුණාටුව හේතුවෙන් IMF ඉලක්කවල සංශෝධනයක් ?

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් IMF ඉලක්කවල සංශෝධනයක් ?

January 12, 2026   11:42 pm

‍දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවල සංශෝධනයක් විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ (12) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බවය.

"අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන්වලදී හැමවෙලේම ක්‍රියාත්මක වෙන්නේ රටේ අපි සාකච්ඡා කරන වෙලාවේ තියෙන තත්ත්වය තමා, ඉදිරියේදී කොහොමද වෙන්නේ කියලා යම්කිසි පුරෝකථනයක් කරලා ප්‍රතිපත්ති සහ ඉලක්කවලට එන්නේ. එතකොට යම්කිසි වෙනසක් වුණාම අනිවාර්යයෙන්ම ඉලක්ක වෙනස් වෙන්න ඕනේ. ඒක දෙපැත්තෙන්ම පිළිගත්ත සිද්ධාන්තයක්. 

ඒ අනුව ගත්තහම මේක බලාපොරොත්තු නොවුණ දෙයක් වුණත් දෙසැම්බර් මාසය තුළ කලින් බලාපොරොත්තු වුණ විදියට දෙසැම්බර් 15 වෙද්දි පස්වෙනි සමාලෝචනය සම්පූර්ණ කරන්න. මේ කුණාටුව නිසා රජය ඉදිරිපත් කළා යෝජනාවක් කලින් තිබුණ අයවැය නෙමෙයි ඊළඟ අවුරුද්දට අදාළ, අමතර අයවැය වියදමක් තියෙන්න ඕනේ. ඉලක්ක වෙනස් වෙන්න ඕනේ. ඒ සමාලෝචනය යම්කිසි ආකාරයකින් කල්දැමීමට අවශ්‍යයයි. ඒ සඳහා කාලයක් අවශ්‍යයයි මේ ගැන ඇස්තමේන්තුවක් කරන්න. සම්පූර්ණ සමාලෝචනයක් කරලා තමා ලබන අවුරුද්දෙන් එහාට ඉලක්ක හදන්න ඕනේ. ඒකට අවශ්‍ය කාලය ගන්න තමා අර සමාලෝචනයට තව කල්දීලා ක්ෂණික RFI කියන එක මෙතැනට ගැලපෙනවා. අපිට 2020 දී අපිට කොවිඩ්වල ඕක හම්බවුණේ නෑ. මොකද ණය තිරසරභාවය අපිට තිබුණේ නැති නිසා. 

මේ වෙලාවේ ණය තිරසරභාවය නැවත ලබාගෙන තිබෙන නිසා, ණය ගිවිසුම්ගත වෙන්න ඕනේ නෑ අරක මේක කරනවා කියලා සති දෙකක් ඇතුළත අපිට ඒ අදාළ මුදල ලබාගන්න පුළුවන් අරවට අමතරව." 

‍සුළි කුණාටුව හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සිදුකර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා තෙක්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සමාලෝචනය කල්දැමීමට පියවර ගත් බව නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

මෙම වසර අවසානය වන විට මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය බිලියන 8ක සීමාවට ලගාවිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.