අල්ලස් චෝදනා එල්ල වූ අධිකරණ රෙජිස්ටාර්වරයෙකුට දුන් තීන්දුව
January 12, 2026 04:56 pm
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කර තිබේ.
මෙම සැකකරු අද (12) කොළඹ අතිරේක මහෙස්ත්රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම තීන්දුව ලබා දී තිබුණි.
මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බව මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ.
ඒ අනුව අදාළ සැකකරු ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
වැලිමඩ දිසා අධිකරණයේ වසර තිහක් පමණ විභාග වූ ඉඩම් නඩුවක තීන්දුව පරිදි භුක්තිය නිසියාකාරව භාරදීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
