මට්ටක්කුලියේ ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි  පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

මට්ටක්කුලියේ ව්‍යාපාරිකයෙකු ඝාතනයට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට

January 10, 2026   04:15 pm

මට්ටක්කුලිය, කදිරානවත්ත පාලම අසලදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ 06ක් සමඟ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම සිද්ධියට ආධාර අනුබල ලබාදුන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ගත් බව පොලීසිය සඳහන් කළේය.

හැදල වත්තල ප්‍රදේශයේ පදිංචි අන්තෝනි චාල්ස් නොහොත් ‘චාලා‘ නමැති ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීම සඳහා මොවුන් පැමිණ ඇති බවට කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

වෙඩික්කරු බවට හඳුනාගත් පුද්ගලයා හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන හිටපු යුද හමුදා සාමාජිකයෙකු බව පොලීසිය වැඩිදුරටත් පැවසීය. 

අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් තිදෙනා කැලණිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වේ.

කොළඹ උතුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.