පීඩන අවපාතය පොතුවිල් සිට  කිලෝමීටර් 230ක් දුරින්

පීඩන අවපාතය පොතුවිල් සිට කිලෝමීටර් 230ක් දුරින්

January 8, 2026   07:50 pm

ශ්‍රී ලංකාවට ගිනිකොන දෙසින් බෙංගාල බොක්කෙහි පවතින ගැඹුරු පීඩන අවපාතය ප.ව. 4.00 පමණ වන විට විට පොතුවිල් සිට කිලෝමීටර් 230ක් පමණ ගිනිකොන දෙසින් පිහිටා ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

නිරිතදිග බෙංගාල බොක්ක හරහා බටහිරට බරව වයඹ දෙසට ගමන් කර හෙට (09) දින පස්වරු 5.30 සිට රාත්‍රී 11.30 දක්වා කාලය තුළ හම්බන්තොට සහ මඩකලපුව අතර ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එහි බලපෑම හේතුවෙන් අද (08) දින සිට දිවයිනේ, විශේෂයෙන් උතුරු, උතුරු - මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් බලාපොරොත්තු විය හැකි බවද එම නිවේදනයේ සඳහන් වේ.

මේ අතර අද (08) දින සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
 
ධිවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්‍රජාව, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.

මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (35-45) පමණ වේ.  

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (60-70) දක්වා ඉහළ යා හැකි අතර දිවයින වටා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු ඉතා රළු වේ. 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් (2.5 – 3.5) ක් පමණ ඉහළ යාමේ හැකියාවක් පවතී. 
 
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.