ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙකු රිමාන්ඩ්
January 7, 2026 01:33 pm
පාතාල කල්ලි නායකයෙකු බව කියන ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට ආධාර අනුබලදීම සහ නවාතැන් පහසුකම් සැපයීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ සිටි 'නන්ද කුමාර් තක්ෂි' සහ තවත් සැකකරුවෙකු ජනවාරි මස 9වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
දින 90ක රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරු සහ සැකකාරිය අද (7) කොළඹ අපරාධ කොට්ඨාශය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය.
කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින අනුවක් රඳවාගෙන සිටි මෙම සැකකරු සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කරන බවත්, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියට නවාතැන් පහසුකම් සැලසීම සහ ආධාර අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකාරිය හා සැකකරු අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරනු ලැබීය.
ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කර ඉන් පසුව අධිකරණයට ඉදිරිපත් කළ බව පොලීසිය පැවසීය.
මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විත්ති කූඩුවේ සිටි සැකකරුවන් අමතමින් තමන්ට තුවාලවීමක් හිරිහැර සිදුවී තිබේදැයි විමසීය.
ඊට පිළිතුරු දෙමින් සැකකරු හා සැකකාරිය ප්‍රකාශ කළේ එවැනි කිසිවක් නොමැති බවය.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් තවත් ඉල්ලීමක් කරමින් මෙම නඩුවේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය හඳුනාගැනීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඇය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී අදාළ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන 'ආනන්දන්' නමැති සැකකරුවකුට දුරකථන ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් සිය සේවා දායකයා අත්අඩංගුවට ගෙන තිබෙන බව පැවසීය.
අදාළ අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවත් නීතිඥවරයා පැවසුවා.
ඉන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා පොලිසිය වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන සැකකාරියක් සම්බන්ධයෙන් තමන් නියෝගයක් නිකුත් කරන්නේ කෙසේදැයි විමසීය.
තම අධිකරණයේ නොමැති සැකකාරියක් සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට තමන්ට බලයක් නොමැති බව කී ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, ඒ අනුව පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් කියා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව සැකකරුවන් ජනවාරි මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
