වෙනිසියුලා උප ජනාධිපතිනියගෙන් දැඩි ප්‍රකාශයක්
January 4, 2026 10:10 pm
පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ වෙනිසියුලා උප ජනාධිපතිනි ඩෙල්සි රොද්‍රගුවේස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා ඇත්තේ තවමත් සිය රටේ ජනාධිපති වන්නේ නිකොලොස් මදුරෝ යන්නයි.
අමෙරිකානු තර්ජන හමුවේ රට රැක ගැනීමට තම රජය සූදානම් බව ඇය පවසා ඇත.
එවන් පසුබිමක වෙනිසියුලානු ශ්‍රෙෂ්ඨාධිකරණය දැනුම් දී ඇත්තේ උප ජනාධිපතිවරිය එරට අන්තර්වාර ජනාධිපති ලෙස කටයුතු කළ යුතු බවය.
ගුවන් ප්‍රහාර එල්ල කර 'මදුරෝ රැගෙන යාමේ අමෙරිකානු මෙහෙයුමෙන් පසු' කරාකස් නුවර ප්‍රහාර එල්ල කළ ස්ථාන සහ ගිනිගත් ගොඩනැගිලි, රථවාහන සහ සුන්බුන් දක්නට ලැබුණි.
වෙනිසියුලාව තුළ හටගෙන ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව එක්සත් ජාතින්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් පවසා තිබේ.
එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්විමක්ද හෙට (05) කැඳවා තිබෙන්නේ මෙවන් පසුබිමකය.
මේ අතර රුසියාව, චීනය සහ ඉරානය දැනටමත් මෙම සිදුවීම හෙළා දකිමින් ප්‍රකාශ නිකුත් කර තිබේ.
වෙනිසුවෙලානු ජනාධිපති සහ ඔහුගේ බිරිඳගේ පෞද්ගලික ආරක්ෂාව සහතික කරන ලෙසත් ඔවුන් වහාම නිදහස් කරන ලෙසත් චීනය අමෙරිකාවෙන් ඉල්ලා සිටින බව චීන විදේශ අමාත්‍යාංශය පවසයි.
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් පවසා ඇත්තේ මදුරෝගේ පාලනය අවසන් වීම පිළිබඳව තම රජය කඳුලු නොසලන නමුත් අමෙරිකාව සිදුකළ හමුදා මෙහෙයුම පිළිබඳව අදහස් නොදක්වන බවය.
ප්‍රංශය, ස්පාඤ්ඤය, ඉතාලිය, තුර්කිය , ඉන්දියාව ඇතුළු තවත් රටවල් රැසක් වෙනිසියුලාව තුළ පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව පවසා ඇති අතර සියලුම රටවල් ජාත්‍යන්තර නීතියට ගරුකළ යුතු බව ඔවුන් පවසයි.
