1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලාව  ආරම්භ වීම ගැන දැනුම්දීමක්

1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂය මාලාව ආරම්භ වීම ගැන දැනුම්දීමක්

January 4, 2026   04:26 pm

හෙට සිට ආරම්භ වන නව අධ්‍යනය වර්ශය තුළ පළමු ශ්‍රේණියේ දරුවන් සඳහා ජනවාරි 29වනදාත් 6 වන ශ්‍රේණියේ දරුවන්ට ජනවාරි 21වනදාත් නව විෂය මාලාව ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කර සිටියාය.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය එහිදී පැවසුවේ විෂය මාලාව හඳුන්වා දීම පමණක් නොව ඊට සමගාමීව මෙම අලුත් ක්‍රමයට දරුවන් හුරු කිරීම සඳහා ද වැඩසටහන් සංවිධානය කර ඇති බවය.

එමෙන්ම දෙමාපියන් සඳහා ද එම හඳුන්වා දීම සිදු කිරීමට නව වැඩසටහන් සංවිධානය කර ඇති බව අගමැතිනිය සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවේ විෂයන් තේරීමට හුරු කිරීම ආදී වූ සියල්ල පිළිබඳව අවධානය යොමු කර ඇති බවය. 

මෙම විෂය මාලාව ක්‍රියාත්මක කරන ගුරුවරුන් සඳහා ද පුහුණුව ලබා දී ඇති අතර මේ වන විට පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 7,181ක් සිදු කර ගුරුවරු 132,580ක ප්‍රමාණයට පුහුණුව ලබා දී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පැවසීය.

ඒ අනුව මෙම නව මොඩියුල සමග එම විෂයන් උගන්වන ගුරුවරුන්ගෙන් 93%කට මේ වන විට පුහුණුව ලබා දී අවසන් වන බව ද ඇය මෙහිදී කියා සිටියාය.

එමෙන්ම ඊට සමගාමීව මෙම නව ප්‍රතිසංසකරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා යටිතල පහසුකම් සැපයීම කෙරෙහි ද අවධාණය යොමු කර ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය සඳහන් කළාය.