CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම  ජනවාරි 2වන සතියෙන් ඇරඹේ

CEB යෝජනාවට අනුව මහජන අදහස් විමසීම ජනවාරි 2වන සතියෙන් ඇරඹේ

January 2, 2026   07:12 pm

2026 ජනවාරි සිට මාර්තු මාසය දක්වා වන කාලය සඳහා අපේක්ෂිත පිරිවැය රුපියල් මිලියන 137,016ක් වන බවත්, පවතින ගාස්තු යටතේ ලැබෙන ආදායම රුපියල් මිලියන 113,161ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇති බවත් විදුලිබල මණ්ඩලය සිය යෝජනාවලිය මගින් පෙන්වා දී ඇත.

ඒ අනුව රුපියල් මිලියන 13,094ක ආදායම් හිඟයක් පවතින බැවින් සමස්ත විදුලි ගාස්තුව 11.57%ක ප්‍රතිශතයකින් ඉහළ නැංවිය යුතු බව විදුලිබල මණ්ඩලය යෝජනා කර ඇත.

2026 වසරේ පළමු කාර්තුව සඳහා වූ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසම වෙත භාරදී තිබේ.

එහිදී ස්ථාවර ගාස්තු සහ ඒකක ගාස්තු යන දෙකම ඉහල දැමීමට විදුලි බල මණ්ඩලය යෝජනා කර තිබේ.

යෝජිත සංශෝධනයට අනුව ගෘහස්ථ කාණ්ඩයේ පළමු විදුලි ඒකක 60 දක්වා අදියර දෙකක් යටතේ ගාස්තු සංශෝධනය වේ.

මුල් ඒකක 30ට අදාළව එක් විදුලි ඒකකයක් සඳහා දැනට අය කරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29ක් දක්වා වැඩිවීමට යෝජිතය.

එම කාණ්ඩයේ මාසික ගාස්තුවද රුපියල් 80 සිට රුපියල් 94.11 දක්වා රුපියල් 14.11කින් ඉහළ යනු ඇත.

ඒකක 31 සිට 60 දක්වා, එක් ඒකකයකට අයකෙරෙන රුපියල් 8ක ගාස්තුව රුපියල් 9.41 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

එහි මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 37.03 කින් ඉහළ යන අතර එහි යෝජිත  ගාස්තුව රුපියල් 247.03කි.

ඒකක 61 සිට 90 දක්වා කාණ්ඩයේ ඒකකයකට දැනට අයකරන රුපියල් 18.50ක ගාස්තුව රුපියල් 21.76 දක්වා වැඩි කිරීමට යෝජිතය.

එමෙන්ම ඒකක 91 සිට 120 දක්වා ඒකකයකට අය කරන රුපියල් 24ක ගාස්තුව ද රුපියල් 28.23 දක්වා ඉහළ නැංවීමට යෝජනා කර තිබේ.

ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක් සඳහා අයකරන රුපියල් 41ක ගාස්තුවද රුපියල් 48.23ක් දක්වා ඉහළ දැමීමට යෝජිතය.

ඒකක 181 හෝ ඊට වැඩි ඒකකයක් සඳහා පැවති රුපියල් 61ක ගාස්තුව ඉහළ නැංවීමට යෝජනා කර ඇත්තේ රුපියල් 71.76 දක්වාය.

මෙම කාණ්ඩවල මාසික ස්ථාවර ගාස්තු ද මීට සමගාමීව ඉහළ නැංවීමට යෝජනා කර ඇත.

මීට සමගාමීව ආගමික ස්ථාන හා පුණ්‍යායතන සඳහා විදුලි ගාස්තුද ඉහළ දැමීමට විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට යෝජනා කර තිබේ.

එහි පළමු ඒකක 30 සඳහා ඒකකයකට අයකරන රුපියල් 4.50ක ගාස්තුව රුපියල් 5.29 දක්වා ඉහළ දැමීමට යෝජිත අතර, රුපියල් 75 ක්ව පැවති මාසික ගාස්තුව ද , රුපියල් 88.23 දක්වා ඉහළ නැංවීමට යෝජිතය.

ඒකක 31 සිට 90 දක්වා ඒකකයක මිලද ඉහළ දැමීමට යෝජනා කර ඇති අතර එම කාණ්ඩයේ මාසික ගාස්තුව ද රුපියල් 35.27 කින් ඉහළ නැංවීමට ඉල්ලා තිබේ.

ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ ඒකකයක මිල රුපියල් 22.35 දක්වාත් ඉහළ නැංවීමට යෝජිතය.

ඒකක 181 හෝ ඊට වැඩි නම් ඒකකයක මිල ඉහළ නැංවීමට ඉල්ලා ඇත්තේ රුපියල් 26 සිට 30.59 දක්වාය.

මීට සමගාමීව කර්මාන්ත සහ හෝටල් සඳහා විදුලි ගාස්තුද ඉහළ දැමීමට ද යෝජනා කර ඇත.

ඒ අනුව ඒකක 300 හෝ 300ට අඩු කාණ්ඩය සඳහා රුපියල් 8ක් ලෙස පවතින ඒකකයක මිල රුපියල් 9.41 දක්වාත්, ඒකක 300ට වැඩි ඒකකයක මිල රුපියල් 17 සිට රුපියල් 20 දක්වාත් ඉහළ නැංවීමට විදුලිබල මණ්ඩලය ඉල්ලා ඇත.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථානවල ගාස්තු ඉහළ නැංවීමක් සිදු නොවන බවද වාර්තා වේ.

මේ අතර විදුලිබල මණ්ඩලයේ මෙම යෝජනාවලිය අධ්‍යයනය කොට ඒ පිළිබඳ මහජන අදහස් විමසීමට පියවර ගන්නා බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා.

ඒ අනුව ජනවාරි දෙවන වන සතිය වන විට මහජන අදහස් ලබාගැනීම ආරම්භ කෙරෙන අතර සති 6ක කාලයක් තුළ ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන උපයෝගිතා කොමිසමේ අවසන් තීරණය දැනුම්දීමට නියමිතයි.