වාන් මට්ටමේ පැවති  ජලාශවල නවතම තත්ත්වය

වාන් මට්ටමේ පැවති ජලාශවල නවතම තත්ත්වය

December 21, 2025   04:24 pm

ප්‍රධාන ජලාශ 12ක වාන් දැමීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවත් සාරංශයක් ලෙස මේ වන විට ජලාශවල වාන් දැමීම අඩු වෙමින් පවතින බවත් ජල පාලන ලේකම් කාර්යාල‍යේ අධ්‍යක්ෂක ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පවසයි.

මහවැලි අධිකාරිය සතුව ප්‍රධාන ජලාශ 20ක් පමණ පවතින අතර ඉන් ජලාශ තුනක සාමාන්‍ය වාන් දැමීමක් සිදු වන බවද ඒ මහතා සඳහන් කළේය.

ඒ අනුව මාදුරුඔය, කණ්ඩලම, කලාවැව මෙසේ වාන් දැමීම සිදුවන අතර ඉන් නිදහස් කරන ජලය හේතුවෙන් ප්‍රදේශවාසීන්ට කිසිදු අවදානමක් ඇති නොවන බවද අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු සඳහන් කර සිටියේ මෙම ජලාශයන්ට අමතරව වික්ටෝරියා, රන්දෙනිගල සහ රන්ගැඹේ යන ජලාශ තුන ද ඉදහිට වාන් දැමීමක් සිදු වන බවය.

මෙම ජලාශ තුනෙන් මහවැලි ගගට ජලය මුදා හරින බවත් ඉන් මනම්පිටිය මාර්ගයේ ගමනාගමනයට කිසිදු බාධාවක් ඇති නොවන බවත් මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම උල්හිටිය සහ මොරගහකන්ද යන ජලාශවල ජලය අඩු කිරීම සඳහා නිදහස් කරන බවත්, විශේෂයෙන් මොරගහකන්ද ජලාශයේ ජලය නිදහස් කරනු ලබන්නේ ඇලහැර අමුණේ අලුත්වැඩියා කටයුතු සඳහා ඉඩ දීම සඳහා බවත් ඔහු සඳහන් කළේය.