ජනපති අනුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ස්තූති කරයි
December 20, 2025 12:27 pm
ගංවතුර සහ අධික වර්ෂාව හේතුවෙන් පීඩාවට පත් ප්‍රජාවට සහන සැලසීම සඳහා කඩිනම් මානුෂීය ආධාර ලබා දීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සිය ස්තුතිය පළ කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් මහතා සමඟ ඊයේ (19) පැවති දුරකථන සංවාදයකදී, ජනාධිපතිවරයා, මෙලෙස අර්බුකාරී අවස්ථාවලදී ශ්‍රී ලංකාව සමඟ රැඳෙමින් නිරන්තර සහාය දැක්වීම පිළිබඳව ඒ මහතා වෙත සිය කෘතඥතාව පළ කළේය.
මෙම ඇමතුම අතරතුර, ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් මහතා, ගංවතුරෙන් අහිමි වූ ජීවිත සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට සහ මෙරට ජනතාවට සිය බලවත් සංවේගය පළ කළ අතර, මෙම ආපදා තත්ත්වයෙන් එල්ල වන අභියෝගවලට මුහුණ දීම සඳහා ශක්තිය සහ ධෛර්යය ප්‍රාර්ථනා කළේය.
දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගනිමින් වැඩිදුර සහාය ලබා දීමට ඇති අවස්ථා සහ ආකාර සොයා බැලීම සඳහා හානියේ ප්‍රමාණය තක්සේරු කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් කණ්ඩායමක් මෙරටට එවීමට කටයුතු කරන බවද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට පැවසීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනුගමනය කරන දිගුකාලීන මානුෂීය ප්‍රතිපත්තිය යටතේ, ස්වාභාවික විපත් සහ හදිසි අවස්ථාවලින් පීඩාවට පත් ජාතීන්ට අවශ්‍ය සහාය සහ කඩිනම් සහන ලබා දීම මෙන්ම දිගුකාලීනව යළි යථා තත්වයට පැමිණ වීම කෙරෙහි අවධානය යොමු කරමින්, මෙම ආධාර ලබාදෙන බවද මෙහිදී සඳහන් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සිටිමින් අවශ්‍ය සහාය ලබාදීමට තම රට කැප වී ක්‍රියා කරන බවට යළි තහවුරු කළේය.
ජාත්‍යන්තර ආධාර සැපයීම සඳහා වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය නියෝජිතායතනය සහ එමිරේට්ස් රෙඩ් ක්‍රෙසන්ට් සමාජය ඒකාබද්ධව මෙරට කඩිනම් සහන සැපයීමේ මෙහෙයුම් දියත් කළ අතර, ඒ අතරට අබුඩාබි සිවිල් ආරක්ෂක කණ්ඩායම් විසින් දරුණු ලෙස ආපදාවට ලක් වූ ප්‍රදේශවල සිදු කරන ලද සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් මෙන්ම අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර සැපයීම සහ හදිසි නවාතැන් පහසුකම් සැලසීමේ මෙහෙයුම්ද ඇතුළත් වේ.
මෙම ආපදා අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් දක්වන ලද කඩිනම් සහාය, අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන සහන කටයුතු සඳහා සැලකිය යුතු දායකත්වයක් සපයන අතර, එය දෙරට අතර ශක්තිමත් සහ දීර්ඝකාලීන සබඳතාවල පිළිබිඹුවක්ද වේ.
