තෙවැනි වාරයේ දෙවැනි අදියර හෙට ඇරඹෙයි

තෙවැනි වාරයේ දෙවැනි අදියර හෙට ඇරඹෙයි

December 15, 2025   08:31 pm

දිවයිනට බලපෑ ආපදා හේතුවෙන් දෙසැම්බර් 16 දක්වා කල්දැමුණු, පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර හෙට ආරම්භවෙයි.

නමුත් අයහපත් කාලගුණයේ දැඩි බලපෑමට ලක්වූ ඌව, මධ්‍යම සහ වයඹ යන පළාත් තුනේ පාසල් 640ක් හෙට විවෘත වන්නේ නැත.

පාසල්වල තෙවැනි වාරයේ දෙවැනි අදියර පසුගිය දෙසැම්බර් 08 වැනිදා ආරම්භවීමට නියමිතව තිබුණත් පැවති කාලගුණ ආපදා හේතුවෙන් එය දෙසැම්බර් 16 දක්වා කල්දැමීමට බලධාරීන් පියවර ගත්තේය.

ඒ අනුව බස්නාහිර, දකුණ, උතුර , උතුරු- මැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත්වල පාසල් එලෙස හෙට ආරම්භ කෙරේ.

හෙට ඇරඹෙන පාසල් තෙවැනි වාරයේ දෙවැනි අදියර දෙසැම්බර් 22 දක්වා පැවැත්වෙන අතර දෙසැම්බර් 23 වැනිදා සිට දෙසැම්බර් 28 දක්වා නත්තල් නිවාඩු සමය ක්‍රියාත්මක වෙයි.

තෙවැනි වාරයේ තෙවැනි අදියර සඳහා නැවත පාසල් දෙසැම්බර් 29 වැනිදා ආරම්භ කර දෙසැම්බර් 31 වැනිදා දක්වා පවත්වා පාසල්වල තෙවැනි වාරයේ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

නමුත් මුස්ලිම් පාසල්වල දරුවන් සඳහා හෙටින් ඇරඹෙන පාසල් වාරය ජනවාරි 2 වැනි දින දක්වා අඛණ්ඩව පැවැත්වෙන අතර නත්තල් නිවාඩුවක් හිමිවන්නේ නැත.

එම දරුවන්ට දෙසැම්බර් 27 වැනි සෙනසුරාදා ද පාසල් පැවැත්වෙනු ඇත.

එමෙන්ම 2026 වර්ෂයේ පළමු ශ්‍රේණිය සඳහා වන අධ්‍යයන කටයුතු ජනවාරි 22 ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් වෙත උපදෙස් දී තිබේ.

මේ අතර ආපදා හේතුවෙන් ප්‍රවාහන දුෂ්කරතා පවතින දුර බැහැර ප්‍රදේශවල සිට පැමිණෙන සිසුන් සඳහා නේවාසිකාගාර පවතින පාසල්වල තාවකාලික පහසුකම් ලබාදිය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන අපහසුතා පවතින හා ආපදාවට ලක්වූ පාසල්වල සිසුන්ට තම පදිංචියට ආසන්නතම පාසලෙහි තාවකාලිකව අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවස්ථාව ලබාදිය යුතු අතර පාසල්වලට තාවකාලිකව ඇතුළත් කරගන්නා සිසුන්ගෙන් කිසිඳු ගාස්තුවක් අය නොකළ යුතුයි.

එසේම ආපදා සහන කටයුතු සඳහා සිසුන්ගෙන් කිසිඳු මුදලක් අයකිරීමට නොහැකි බවත්, ශ්‍රමදායකත්වය ලබාගන්නේ නම් අවුරුදු 14ට වැඩි සිසුන් පමණක් මාපිය අවසරය සහ ගුරුවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සම්බන්ධ කරගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

හෙට දින ආරම්භ නොකෙරෙන පාසල් අදාළ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් විසින් තීරණය කරනු ලබන දිනයකදී ආරම්භ කළ හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා ඇත.

ඒ අනුව පාසල් ආරම්භ කිරීමට අදාළ කටයුතු සුදානම් කිරීම සඳහා විදුහල්පතිවරු, ගුරුවරු සහ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල පිරිස් පාසල්වෙත අද කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය.

මේ අතර ආපදාවට ලක්වූ පාසල් දරුවන්ට දෙසැම්බර් මාසය පුරා නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ගමනාමන මණ්ඩලය තීරණය කර තිබේ.