සහායට ආ ගුවන් යානයක් සහ හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව යයි
December 14, 2025 06:20 pm
මෙරට මානුෂීය මෙහෙයුම් සඳහා පැමිණි අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J ගුවන් යානයක් හා ඉන්දීය ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයක් දිවයිනෙන් පිටව ගොස් තිබේ.
දිට්වා සුළි කුණාටුවෙන් පසු මෙරටට බලපෑ අපදා තත්ත්වය හමුවේ සහන කටයුතු වලට සහාය වීම සඳහා ගුවන් මෙහෙයුම්, මුදවා ගැනිමේ හෙහෙයුම් හා සහන සේවා කටයුතු සඳහා පසුගිය 07 වනදා අමෙරිකානු ගුවන් හමුදාවේ C-130J ගුවන් යානා දෙකක් සමග 60 දෙනෙකුගෙන් යුත් සහන සේවා කණ්ඩායමක් දිවයිනට පැමිණියේය.
එම ගුවන් යානා කටුනායක හා රත්මලාන ගුවන් හමුදා කඳවුරු වල සිට යාපනය, මත්තල, අම්පාර, අනුරාධපුරය යන ප්‍රදේශ වලට ගුවන් හෙහෙයුම් සිදු කරමින් ආපදාවට පත්ව සිටි ජනතාව සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් ප්‍රවාහනය කරමින් දැවැන්ත මානුෂීය මෙහෙයුමක් සිදුකළ අතර අද (14) ඉන් එක් ගුවන් යානයක් සහ සහන සේවා කණ්ඩායමක් සමග දිවයිනෙන් පිටව ගොස් තිබේ.
තවද, ඉන්දීය ගුවන් හමුදාවේ (MI-17) හෙලිකොප්ටර් යානා දෙකක් මගින් අත්‍යවශ්‍ය සහන සැපයුම් ගුවනින් ප්‍රවාහනය, පීඩාවට පත් සිවිල් වැසියන් ඉවත් කිරීම සහ දැඩි ලෙස බලපෑමට ලක් වූ ප්‍රදේශවල ගලවා ගැනීමේ සහ සහන මෙහෙයුම් ඇතුළු වැදගත් මානුෂීය ගුවන් මෙහෙයුම් සිදු කර දිවයිනෙන් පිටව ගොස් තිබුණි.
එමෙන්ම පසුගිය 08 වනදා දිවයිනට පැමිණි ඉන්දීය ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයක් ද මෙහෙයුම් කටයුතු අවසන් කර අද (14) දින දිවයිනෙක් පිටව ගොස් ඇත.
මෙරට මුහුණ දුන් මෙම ව්‍යසනය හමුවේ ලබා දුන් මෙම ගුවන් සහයෝගය ජන ජීවිත යථාතත්වයට පත් කිරීම සඳහා මහත් පිටුවහලක් විය.
මෙහෙයුම පුරාවට කැපවූ සේවය සහ සමීප සහයෝගීතාවය වෙනුවෙන් අමෙරිකානු හා ඉන්දීය ගුවන් කාර්ය මණ්ඩලයට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හි කෘතඥතාව පළ කිරීමට මෙන්ම සහන සේවා කණ්ඩායම් වලට සමුදීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා සහ ගුවන් හමුදා ජේෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.
