නුවරඑළිය දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් කඩිනම් තීරණ රැසක්
December 8, 2025 04:49 pm
විපතට පත් ජනතාව මුදා ගැනීම, සහන සැලසීම සහ යටිතල පහසුකම් සංවර්ධනයේදී සියලු පාර්ශ්වවල කැපවීම හේතුවෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
එමෙන්ම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ වේගයෙන් ඉදිරියට ගෙන යාම සහ නැවත මෙවන් ව්‍යසනයක් ඇතිවීම වළක්වා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන සැලසුම් සකස් කිරීමේදීද සියලු පාර්ශ්වවල සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (08) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමිනි.
නාය යාම් ඇතුළු ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 19,780කට අයත් පුද්ගලයෝ 63,121ක් පීඩාවට පත්ව ඇති බව ජනාධිපති මාධය අංශය කළ නිවේදනයේ දැක්වේ.
එළවළු සහ අර්තාපල් වගාවට සිදුව ඇති හානිය සහ යළි වගා ආරම්භ කිරීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ එළවළු අස්වැන්නෙහි අඩුවීම 25%ක් පමණක් බව එහිදී නිලධාරීන් පෙන්වා දී තිබේ.
දෛනික එළවළු සැපයීමේ කටයුතු නුවරඑළිය දිස්ත්‍රික්කයට සිදුකළ හැකි වුවත්, මේ වන විට දෛනික ඉල්ලුමෙහි අඩුවීමක් නීරීක්ෂණය වන බව ඔවුන් පවසා ඇත.
එයට හේතුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ එළවළු හිඟයක් පවතින බවට මෙන්ම මිල ගණන් ඉහළ ගොස් ඇති බවට පළවන අසත්‍ය පුවත් බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
එළවළු වගාවට සිදු වූ හානිය, බලපෑමට ලක් වූ ගොවීන් ප්‍රමාණය, ඔවුන්ට අයත් භූමි ප්‍රමාණය පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, එළවළු වගාව කඩිනමින් ආරම්භ කිරීම සඳහා ගොවීන්ට වන්දි ලබා දීමේ සහ බීජ සැපයීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසද උපදෙස් ලබා දී ඇත.
බීජ මිල ඉහළ යාම හේතුවෙන් අර්තාපල් ගොවීන් මුහුණ පා ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානයට යොමුව ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ සහ එහිදී මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර, ජනතාවගේ ගමනාගමන පහසුකම් සපුරාලීම වෙනුවෙන් එම ප්‍රතිසංස්කරණ හැකි ඉක්මනින් අවසන් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම, වතු ආශ්රිත මාර්ග 611ක්, පළාත් මාර්ග සහ ප්‍රාදේශීය සභා යන කිසිදු ආයතනයකට අයත් නොවීම හේතුවෙන් ප්‍රතිසංස්කරණයට ලක් වි නොමැති බව මෙහිදී අනාවරණය කෙරුණු අතර, වතු සමාගම්වලට අයත්, නමුත් ප්‍රදේශයේ ජනතාව විසින් භාවිතා කරන, ප්‍රධාන නගර සමඟ සම්බන්ධ වන සියලු මාර්ග රජයට පවරාගෙන කඩිනමින් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
මහ කන්නයේ කුඹුරු වගා කළ හැකි අන්දමින් වාරිමාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා කොත්මලේ ජලාශය සම්බන්ධව මතු වූ තත්ත්වය පිළිබඳවද නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇත.
එමෙන්ම, ආගරපතන පාලම කැඩී යාම හේතුවෙන් ජනතාවට අමතර කි.මි 8ක පමණ දුරක් ගමන් කිරීමට සිදුව තිබෙන බව මෙහීදී සඳහන් කෙරුණු අතර එම පාලම කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
කඳුකරය ඔස්සේ දිවෙන මාර්ග විශාල ලෙස හානියට පත්ව ඇති බැවින් එම මාර්ග පිළිසකර කර සංවර්ධනය වෙනුවෙන් කඩිනම් සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
එමෙන්ම, ග්‍රෙගරි වැව සොරොව්වේ තාක්ෂණික මෙහෙයුම් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතට පැවරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබේ.
විදුලි සහ ජල සැපයුම යළි යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර, එහිදී මතුව ඇති කාර්යමණ්ඩල අවශ්‍යතාව තාවකාලිකව සපුරා ගැනීම පිළිබඳවද සාකච්ඡා විය.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ හානි වූ පාසල් 551න් 490ක් දෙසැම්බර් 16 වන දා වන විට, යළි ආරම්භ කිරිමේ හැකියාව තිබෙන බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන් අතර, එදිනට හැකි තරම් පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස උපදෙස් දුන් ජනාධිපතිවරයා, දෙසැම්බර් 16 ආරම්භ කළ නොහැකි පාසල්වල දරුවන් ආසන්න පාසලකට යොමු කිරීමටත් සහ එහිදී ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා දීමටත් උපදෙස් දුන්නේය.
එමෙන්ම, රෝහල්වල ක්‍රියාකාරිත්වය ඇතුළු සෞඛ්‍ය පහසුකම් පිළිබඳවද අවධානය යොමු විය. වෛද්‍ය නිල නිවාස සහ නේවාසිකාගාර විනාශ වීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරුණු අතර, එම පහසුකම් ලබා දීම සඳහා සුදුසු වෙනත් ගොඩනැගිල්ලක් හඳුනාගෙන දැනුම් දෙන ලෙසත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කර එය නිදහස් කර දිය හැකි බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳවද අවධානය යොමු කෙරුණු අතර, පසුගිය වසර 05 තුළ විශ්‍රාම ගිය නිලධාරීන් ඒ සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමටත්, ඒ පිළිබඳ තොරතුරු කඩිනමින් ලබා දෙන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
නිවාස අහිමි වූ ජනතාවට වන්දි ලබා දීම සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවද මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.
ජන ජිවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සලසන අතරම රටේ හදවත බඳු මධ්‍යම කඳුකරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
