බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

බියගමදී කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක්

December 8, 2025   12:28 pm

අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා බියගම ප්‍රදේශයේ එක් රැස් වූ කැලිකසළ ඉවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කෙරිණි.

අමාත්‍ය අනුර ජයසේකර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා, ප්‍රාදේශීය සභා සභාපති කුමරප්පෙලි මහතා සහ පුද්ගලික සමාගමක් එක්ව මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත. 

බියගම ප්‍රදේශය, පැවති ගංවතුර තත්ත්වය හමුවේ විශාල ලෙස හානියට ලක්ව තිබුණි.

අවතැන්වූ පිරිස් නැවත පදිංචියට පැමිණීමේදී පවතින ප්‍රධානතම ගැටළුවක් වන්නේ මෙලෙස මාර්ග දෙපස ගොඩගැසෙන කැලිකසළ ඉවත් කිරීමට කල්ගතවීම නිසා අධික දුර්ගන්දයක් පැවතීමයි. 

මෙම තත්ත්වය මගහැරලීම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ලෙස අදාළ වැඩසටහන දියත් කර ඇත.

ප්‍රාදේශීය සභාවේ සභිකයන්, සෞඛ්‍ය සහ පරිසර කටයුතු හා සම්බන්ධ නිලධාරීන් ඇතුළු සියලුම නිලධාරීන් ඒකාබද්ධ වීමෙන් පසුගිය දින කිහිපය තුළම මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක විය.

කෙසේවෙතත් ඊයේ (07) සවස වනවිට මෙම ප්‍රදේශයේ කැලිකසළ සම්පූර්ණයෙන්ම ඉවත් කර යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.