ග්වැන්ග්වූ රතු පලස සහ Geotorism : ලංකාවේ සංචාරක කර්මාන්තයට නව ප්‍රවේශයක්

ග්වැන්ග්වූ රතු පලස සහ Geotorism : ලංකාවේ සංචාරක කර්මාන්තයට නව ප්‍රවේශයක්

November 21, 2025   01:50 pm

ගෝලීය භූ උද්‍යානයක් දකින්න, එහි විශ්මය දැක ගන්න පළමු අත්දැකීම ලබාගැනීමට චීනයේදී හැකි වෙයි.

චීනයේ සීචුවාන් ප්‍රාන්තයේ පිහිටා ඇත Guangwushan-Nuoshuihe UNESCO Global Geopark හි විස්මය පිළිබඳව විශේෂ සටහනක් පහතින්.

අපි හැමෝම කැමතියි සංචාරය කරන්න.ගොඩක් දෙනෙක් තමන්ගේ විවේක කාලය හොඳින්  ගත කරන්න තමයි සංචාරයේ යෙදෙන්නේ.ඒවගේම විවිධ සංස්කෘතීන් ගවේෂණය කරමින් අධ්‍යාපනය ලබන්න,ස්වභාවික පරිසරය විඳිමින් එහි අත්දැකීම් ලබාගන්න,විවිධ කලාවන් ඇසුරු කරන්න, ඓතිහාසික ස්ථාන නරඹන්න කැමති සංචාරකයින් හැම වෙලාවෙම ලෝකය පුරා සැරිසරනවා.

මේ දිනවල ශ්‍රී  ලංකාවේත් සංචාරක කර්මාන්තය පිළිබඳ තියෙන්නේ ලොකු උනන්දුවක්.මේ වසරේ විසි ලක්ෂයේ සංචාරකයත් පහුගිය දවසක ලංකාවට ආවා.

ශ්‍රී ලංකාවේ සංචාරය කරද්දි    ලංකාවෙ තියෙන යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන වලට තියෙන්නේ  ලොකු සංචාරක ආකර්ෂණයක් .ශ්‍රී ලංකාවේ යුනෙස්කෝ ලෝක උරුම ස්ථාන අටක් තියෙනවා.

ඒ අතරින් අනුරාධපුරය , පොලොන්නරුව ,මහනුවර ,සීගිරිය, දඹුල්ල ලෙන් විහාරය  සහ ගාලු කොටුව අයිති වෙන්නේ සංස්කෘතික ලෝක උරුමයන් විදියට. සිංහරාජ වනාන්තරය සහ මධ්‍යම කඳුකරය ශ්‍රි ලංකාවේ ස්වභාවික ලෝක උරුමයන් ලෙස තමයි සැලකෙන්නේ.

මගේ මේ සටහන  අපට ටිකක් නුහුරු යූනෙස්කෝ ගෝලීය භූ උද්‍යාන (UNESCO Global Geopark ) පිළිබඳව. මේ වගේ ගෝලීය භූ උද්‍යානයක තියෙන වැදගත්කම සහ ඒක සංචාරක කර්මාන්තයට කොච්චර දායක කරගන්න පුලුවන්ද කියන එක ගැන. මට ගෝලීය භූ උද්‍යානයක් දකින්න,එහි විශ්මය දැක ගන්න පළමු අත්දැකීම ලැබෙන්නේ චීනයේදී.චීනයේ සීචුවාන් ප්‍රාන්තයේ පිහිටලා තියෙන Guangwushan-Nuoshuihe UNESCO Global Geopark හි විස්මය මට දකින්න ලැබුණේ ශ්‍රී ලාංකික මාධ්‍ය කණ්ඩායමක් විදියට එහි කරන ලද සංචාරයේදී.මේ සංචාරය සංවිධානය කරලා තිබුණේ Bazhong Municipal peoples association  for friendship with foreign countries (Bazhong - CPAFFC) විසින්.එය ශ්‍රී ලාංකික මාධ්‍ය කණ්ඩායමක් විධියට අපට ඉහළම ආදර ගෞරව සත්කාර දැක්වූ ඉතා ඉහළ මට්ටමින් සංවිධානය කරන ලද සංචාරයක්.

අපි මේ සංචාරයේ යෙදුනු නොවැම්බර් මස මැද භාගය කියන්නේ චීනයේ සරත් ඍතුවේ උච්චතම කාලය.අපේ ගමනාන්තය උනේ නිරිත දිග චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ පිහිටි සුප්‍රසිද්ධ ගුවැන්ග්වු (Guangwushan) කඳුකරය.අපි යන විටත් සරත් ඍතුව විසින් පැහැය වෙනස් කළ තුරුපත් නිසා මේ කඳුකරය රත් සහ රන් පැහැයෙන් බැබලෙමින් තිබුණා.එය සැබවින්ම අසිරිමත් දර්ශනයක්.මේ කඳුකර අසිරිය විඳගැනීමට වසර පුරා සංචාරකයන් විශාල ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා.ඉතින් මේ ගුවැන්ග්වු කඳුකරය  කියන්නේ යුනෙස්කෝ ගෝලීය භූ උද්‍යානයක් ලෙස නම් කරන ලද පෘථිවියේ තියෙන අති සුවිශේෂ ප්‍රදේශයක් .යුනෙස්කෝ සංවිධානය විසින් පෘතුවිය මත තිබෙන සුවිශේෂී වූ භූ විෂමතාවන් සහිත මෙවැනි ප්‍රදේශ 229ක් යුනෙස්කෝ geo parks ලෙස නම් කරල 

යූනෙස්කෝ ගෝලීය භූ උද්‍යානයක් කියලා කියන්නේ ජාත්‍යන්තර වැදගත්කමක් ඇති භූ විද්‍යාත්මක උරුමයක් තිබෙන ,එය සංරක්ෂණය කරන, තිරසාර සංවර්ධනයට දායක වන, සහ භූ විද්‍යාව පිළිබඳ මහජන දැනුවත්භාවය වැඩි කරන තනි, ඒකාබද්ධ භූගෝලීය ප්‍රදේශයක්.

සරලවම කිව්වොත් මේ භූමි   ප්‍රදේශය ඉපැරණි  සුවිශේෂී පාෂාණිභූත ද්‍රව්‍ය, භූ රූප (Landforms), භූ විද්‍යාත්මක ක්‍රියාවලීන්, ඛනිජ, ජල විද්‍යාත්මක ලක්ෂණ වලින් සමන්විත වෙන්න ඕන.යූනෙස්කෝ ගෝලීය භූ උද්‍යානයක් කියන්නේ හුදෙක් ලස්සන භූ විද්‍යාත්මක ස්ථාන එකතුවක් නෙවෙයි. සංරක්ෂණය, අධ්‍යාපනය සහ තිරසාර සංවර්ධනය යන අංශ තුනම ඒකාබද්ධ කරමින්, ජාත්‍යන්තර වටිනාකමක් ඇති භූ උරුමයන් වටා ගොඩනැඟුණු, ක්‍රියාකාරීව කළමනාකරණය කරන ලද භූමි ප්‍රදේශයක්.

මේ සුවිශේෂී භූමි ප්‍රදේශයේ  තිරසර සංවර්ධනය කියන කාරණයත් එක්ක තමයි 

භූ-සංචාරක ව්‍යාපාරය  (Geotourism):  වැදගත් වෙන්නෙ.භූ උද්‍යානයේ උරුමයන්,සුන්දරත්වය මත පදනම් වූ සංචාරක ව්‍යාපෘති  මෙතනදී වැදගත් තැනක් ගන්නවා.Guagwu geo park එකේදී ස්වභාවික පරිසරයක් කොහොමද සංචාරක ව්‍යාපාරයට යොදාගන්නේ කියන එක හොඳින්ම අත්දකින්න පුළුවන්. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කරන්න යොදා ගන්න පුළුවන් අදහස්  බොහෝමයක් මේ සංචාරයේදී අපට ලැබුණා.

මෙහි ප්‍රධානතම සංචාරක ආකර්ෂණය වෙන්නේ  සරත් සෘතුවේ රතු කොළ දැක්මයි. (Autumn Red Leaves Vistas)

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී කඳුකරය පුරා පැතිරී ඇති වර්ග කිලෝමීටර් 800කට අධික ප්‍රදේශයක  රතු, තැඹිලි සහ කහ කොළ වර්ණයන්ගෙන් විචිත්‍ර වන මනරම් භූ දර්ශනය සංචාරකයන් වසඟයට ගන්නවා .එය ඡායාරූප ශිල්පීන් සඳහා කදිම තෝතැන්නක්.

 සොබාදහමේ සෞන්දර්යය සහ වර්ණ රටා ඡායාරූපගත කිරීමට ඇති මේ සුවිශේෂී අවස්ථාව විඳගැනීමට ජංගම දුරකථන සහ කැමරා අතින් ගත් සංචාරකයන් වැල නොකැඩි මෙහි එනවා. ඔවුන් වෙනුවෙන් ඉතා ක්‍රමවත් ප්‍රවාහන පද්ධතියක් සහ හොඳ යටිතල පහසුකම් සපයා තිබෙනු දකින්න පුළුවන්. 

ඒ වගේම භූඋද්‍යානයේ කඳුකර පරිසර පද්ධති තුළ සකස් කරන ලද කඳු නැගීමේ මාර්ග (Hiking trails) ඔස්සේ කඳු නැගීම,දිය ඇලි සහ ගුහා ගවේෂණය,දුර්ලභ ශාක හා සත්ව විශේෂ පිළිබඳ සොයා බැලීම ආදී සංචාරක අත්දැකීම් සඳහාත් විශේෂ අවස්ථා ලබා දී තිබෙනවා.

වසර දෙදහසකටත් වඩා පැරණි "Micang" ලෙස හඳුන්වන යුධ සහ වෙළෙඳ මාර්ගයේ ගමන් කිරීමටත් අවට බවට ගම්මාන වල දේශීය ජනතාවගේ ජීවන රටාව, ආහාරපාන හා සම්ප්‍රදායන් පිළිබඳව අත්දැකීම් ලැබීමටත් මෙහිදී  සංචාරකයන්ටඅවස්ථාව හිමිවෙනවා.

Guangwushan වෙත සංචාරකයන් රැගෙන එන ප්‍රධානතම සංචාරක අත්දැකීම වී ඇත්තේ එහි ඇති කේබල් කාර් ව්‍යාපෘතියයි.

භූ උද්‍යානයේ උස් කඳුකර ප්‍රදේශවලට සහ දුෂ්කර මාර්ගවලට පහසුවෙන් ළඟා වීමට  මෙමගින් සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා.

එහිදී කඳුකරයේ රතු කොළ දැක්මේ ස්වභාවික සුන්දරත්වය ඉහළ අහසේ සිට බාධාවකින් තොරව නැරඹිය හැකියි..
කඳු නැගීමට ගතවන දීර්ඝ කාලය ඉතිරි කර ගනිමින් මීදුම, හිරු එළිය සමග සමඟ පහත වනාන්තරයේ සුන්දරත්වය ඉතා පහසුවෙන් නැරඹීමට මින් හැකියාව ලැබෙනවා.   අපට මෙහිදී පෙනී ගියේ ශ්‍රී ලංකාවේත් සංචාරක කර්මාන්තයේ වර්ධනයට මෙවැනි කේබල් කාර් ව්‍යාපෘතියක් කොපමණ දායක කර ගත හැකිද යන්නයි.

පෘථිවිය එහි සම්භවය හා පරිණාමය පිළිබඳ ගැඹුරු භූ විද්‍යාත්මක අධ්‍යාපන අත්දැකීමක් (Deep Geological Learning Experience) ලබා දීම මේ භූ උද්‍යානයේ මූලික අරමුණයි.
එම අරමුණ ඉටු ඉටු කරන්නේ

භූ උද්‍යානයේ පිහිටුවා ඇති කෞතුකාගාරය මඟින්.කලාපයේ භූ විද්‍යාත්මක ඉතිහාසය, භූ තල චලන සහ පොසිල සොයාගැනීම්  ,  පෘථිවියේ ගතික ක්‍රියාවලීන් සහ කර්ස්ට් භූ රූප (Karst Landforms) නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳ  සවිස්තරාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීමට  හැකි ආකාරයෙන් මේ කෞතුකාගාරය නිර්මාණය කර තිබෙනවා.

වසර මිලියන ගණනක් පැරණි භූ විද්‍යාත්මක නිදර්ශක ප්‍රදර්ශනය , ඒ පිළිබඳ සටහන් වූ පුවරු ,වීඩියෝ දර්ශන  වගේම නවීන තාක්ෂණය අනුසාරයෙන් 3d ග්‍රාෆික වලින් මේ අධ්‍යාපන ක්‍රියාවලිය කෞතුකාගාරය තුළදී සිදුවෙනවා.

වසර මිලියන ගණන් පැරණි භූවිද්‍යාත්මක පිහිටීම් සහිත ප්‍රදේශ ශ්‍රී ලංකා භූමියේ පවතිනවා. හෝටන් තැන්න, උස්සන්ගොඩ, රූමස්සල එවැනි ප්‍රදේශ කිහිපයක්. එවැනි ප්‍රදේශවල භූවිද්‍යා වැදගත්කම, සුන්දරත්වය අධ්‍යයනයෙන් ඒවා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා යොදාගත හැකියි. 

අතීතයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව ප්‍රසිද්ධ වුණේ රත්නදීප (Gem Island) ලෙසින්.  ශ්‍රී ලංකාවේ මැණික් සහ මිනිරන් කර්මාන්තය මේ Geo Tourism සඳහා හොඳින්ම යොදාගත හැකියි.  මැණික් ඇතිවීමේ ක්‍රියාවලිය භූවිද්‍යාත්මකව ඉතා වැදගත් අධ්‍යයනයක් වන අතර ඒ පිළිබඳව අධයාපනයක් සංචාරකයන්ට ලබාදිය හැකියි. 

ඒ වගේම මැණික්වල ඉතා ඉහළ ප්‍රදර්ශනාත්මක වටිනාකමක් ඇති අතර සංචාරකයන්ට පතල් නැරඹීම, මැණික් කැපීම, ඔපදැමීම වැනි අත්දැකීම් ලබාදිය හැකි මැණික් කෞතුකාගාර මගින් අධ්‍යාපන වටිනාකමක් එක්කළ හැකි අතර තිරසර සංවර්ධනය හරහා මැණික් සහිත ප්‍රදේශවල ජනතාවට තවත් ආදායම් මාර්ග Geo Tourism හරහා උදාකරලීමට හැකියාව පවතිනවා.  

අප මාධ්‍ය කණ්ඩායමේ සියලු දෙනාට මේ සංචාරය තුළදී වැටහී ගියේ රටේ පවතින භූ විෂමතාව එහි වටිනාකම ඉතා තිරසරව සංචාරක කර්මාන්තයේ වර්ධනයට කොතරම් හොඳින් යොදා ගත හැකිද යන්නයි.ඒ සඳහා අවශ්‍ය වන්නේ නිසි දැක්මක්, කළමනාකරණයක් සහ මනා පාලනයක් පමණයි.