ශ්‍රී ලාංකිකයින් 5000ක ජපන් රැකියා  පුහුණු සංචිතයක්

ශ්‍රී ලාංකිකයින් 5000ක ජපන් රැකියා පුහුණු සංචිතයක්

November 20, 2025   04:53 pm

2026 වර්ෂය තුළදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ශ්‍රී ලාංකිකයින් 5000කගේ සංචිතයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පවසයි.

ජපානයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් බඳවාගෙන ඇති සමාගම්වල ප්‍රධානීන් පිරිසක් ඊයේ (19) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී එහි ඉහළ කළමනාකාරීත්වය හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවෙන් ශ්‍රමිකයින් වැඩි වශයෙන් බඳවා ගැනීමට ඇති හැකියාව සොයාබැලීම හා ජපන් රැකියා ප්‍රවර්ධනය කරගැනීම මෙම ප්‍රධානීන් මෙරටට පැමිණීමේ ප්‍රධාන අරමුණ වී ඇත.

මෙහිදී ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කළ ලාංකිකයින් 5000ක පිරිසක් 2026 වර්ෂය තුළදී නිර්මාණය කිරීමටත්, 1000ක පමණ පිරිසකට IM Japan ආයතනය හරහා ජපානයට යොමුකිරීමට නව වැඩපිළිවෙලක් කාර්යාංශය හරහා නිර්මාණය කිරීමටත් බලාපොරොත්තු වන බව කෝශල වික්‍රමසිංහ මහතා වැඩිදුර සඳහන් කළේය.

තවද වැඩි පිරිසකට ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා දිස්ත්‍රික්ක මට්ටමින් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කර භාෂා හා කුසලතාවලින් සපිරි ශ්‍රී ලාංකික පිරිසක් බිහිකිරීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.