මීටියාගොඩ වෙඩි තැබීමට පැමිණි බවට සැක යතුරුපැදිය සොයාගනී

මීටියාගොඩ වෙඩි තැබීමට පැමිණි බවට සැක යතුරුපැදිය සොයාගනී

November 18, 2025   06:51 am

මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල සිදුකළ වෙඩිතැබීම සඳහා පැමිණි බවට සැකකෙරෙන යතුරුපැදිය බද්දේගම පොලීසිය විසින් සොයාගෙන තිබේ.

බටපොල - බද්දේගම මාර්ගයේ අම්පෙගම අම්බලම අසල දමාගොස් තිබු එම යතුරුපැදිය බද්දේගම පොලීසියට ලද තොරතුරකට අනුව සොයාගෙන ඇති බව 'අද දෙරණ' වාර්තාකරු පැවසීය.

වෙඩික්කරුවන් මීටියාගොඩ අලුත්වල හරහා බද්දේගම දෙසට ගමන් කරන අතර තුර යතුරුපැදිය මඟ දමා යන්නට ඇති බවට පොලීසිය සැකකරයි.

මේ අතර, මෙම වෙඩිතැබීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් යොදවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ මීටියාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවය.

මීටියාගොඩ, කිරලගහවෙල ප්‍රදේශයේ අවන්හලක ඊයේ රාත්‍රී සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගියේය.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අවන්හලේ මුදල් අයකැමි ලෙස කටයුතු කළ කාන්තාවට මෙලෙස වෙඩි තබා ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණි.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි මීටියාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් බව පොලීසිය සඳහන් ක‍ළේය.

වෙඩි තැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට පොලීසිය සැක පළකරන අතර සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.