අමෙරිකාව සහ මෙරට අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ
November 14, 2025 09:51 pm
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර අන්තර් ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා ගත් වැදගත් පියවරක් වශයෙන්, ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (14) අවබෝධතා ගිවිසුමකට අත්සන් කර තිබේ.
අමෙරිකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකා තානාපතිනි Julie Chung මැතිනිය සහ මොන්ටානා ජාතික ආරක්ෂක බලකායේ විධායක ජෙනරාල් බ්‍රිගේඩියර් Trenton Gibson විසින් මෙම ගිවිසුමට අත්සන් කර ඇත.
එමෙන්ම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියා කොන්තා මහතා විසින් අත්සන් තැබීය.
මෙම අවබෝධතා ගිවිසුම මඟින් අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන යටතේ මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය, එක්සත් ජනපද වෙරළාරක්ෂක බලකායේ 13 වැනි දිස්ත්‍රික් ඛණ්ඩය සහ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදා අතර සහයෝගීතාව ශක්තිමත් කරන බව වාර්තා වේ.
එහිදී, සභාව ඇමතු නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් ජයසේකර ප්‍රකාශ කළේ, මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම තුළින් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන බවය.
එමෙන්ම අමෙරිකා එක්සත් ජනපදයේ අඛණ්ඩ මිත්‍රත්වය, සහයෝගීතාවය සහ ත්‍යාගශීලීභාවය ගැඹුරින් අගය කරන අතර, ශ්‍රී ලංකාව මෙම හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද එහිදී ඔහු සඳහන් කළේය.












