පඬුවස්නුවර අයවැයත්  මාලිමාව පරදී - සභාවේ නොසන්සුන්තා මැද  අගලවත්තට ජය

පඬුවස්නුවර අයවැයත් මාලිමාව පරදී - සභාවේ නොසන්සුන්තා මැද අගලවත්තට ජය

November 14, 2025   07:37 pm

ජාතික ජන බලවේගයට බලය හිමි පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2026 අයවැය අද පරාජයට පත්විය.

සභාපති සංජීව කරුණාසාගර මහතා ඉදිරිපත් කළ අයවැයට පක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද ගණන 21කි.

ඒ අනුව පඬුවස්නුවර අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්විය.

මේ අතර අගලවත්ත ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය අද සම්මත වූයේ මතභේදාකාරී තත්ත්වයක් මැදය.

ජාතික ජන බලවේගයෙන් පත්වූ සභාපති ලලිත් කුමාරරත්න මහතා අයවැය සභාවට ඉදිරිපත් කළ අතර එහිදී අයවැයට පක්ෂ 10ක්ද , විපක්ෂව ඡන්ද 7ක්ද ලැබුණු අතර තිදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික චාමින්ද රණවක මහතාගේ ඡන්දය, සභාවේ ලේකම්වරිය විසින් වැරදියට සටහන් කරගත් බවට චෝදනා කරමින් සභාවේ නොසන්සුන් තත්ත්වයක් හටගත්තේය.

ඉන්පසුව සභාවේ ලේකම්වරයා කියා සිටියේ අයවැයට පක්ෂව ඡන්ද නවයක් සහ විපක්ෂව ඡන්ද අටක් වශයෙන් හිමිවී ඇති බවය.

තිදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටි අතර මෙම අයවැය ඒ අනුව සම්මත විය.

එම ප්‍රකාශය නොපිළිගත් විපක්ෂ සභිකයින් දිගින් දිගටම සභාව තුළ නොසන්සුන්ව හැසිරීම හේතුවෙන් මිනිත්තු 30කට සභාව කල්තැබීමට සභාපතිවරයා තීරණය කළේය.

අනතුරුව විපක්ෂ මන්ත්‍රීවරු අගලවත්ත පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිල්ලක්ද සිදුකරනු ලැබීය.