අමෙරිකානු යුද නෞකාවක් වෙනිසියුලාව ආසන්නයේ ස්ථානගත කරයි
August 31, 2025 11:05 am
දකුණු කැරිබියන් මුහුදේ අමෙරිකානු යුද නෞකාවක් ස්ථානගත කිරීමක් හේතුවෙන් වෙනිසියුලාව තුළ දේශපාලනිකව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් ඇතිවී තිබේ.
ලතින් අමෙරිකානු කලාපය තුළ පවතින මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීමට එම නෞකාව ස්ථානගත කළ බව අමෙරිකාව පවසයි.
වෙනිසියුලාවට ඔබ්බෙන් වූ දකුණු කැරිබියන් මුහුදේ අමෙරිකානු යුද නෞකාවක් ස්ථානගත කෙරුණේ ලතින් අමෙරිකානු කලාපය තුළ පවතින මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීමට බව පවසමින්ය.
කෙසේවෙතත් අමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය වෙනිසියුලාව තුළ දේශපාලනිකව සහ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතභේදකාරී තත්ත්වයක් ඇති කර තිබේ.
ඒ එම නෞකාව ස්ථානගත කිරීමේ ප්‍රධාන ඉලක්කය වන්නේ වත්මන් වෙනිසියුලානු රජය බවට සැක පල කරමින්ය.
අමෙරිකාව පසුගිය අගෝස්තු මාසයේදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමට තොරතුරක් දෙන අයෙකුට ලබා දෙන බවට මීට පෙර නිවේදනය කර තිබූ ත්‍යාග මුදල ඩොලර් මිලියන 50 දක්වා ඉහළ දැමුවේය.
ඒ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමට සහ අපරාධ කල්ලිවලට සම්බන්ධ බවට චෝදනා කරමින්ය.
එමෙන්ම අදාළ කලාපය තුළ න්‍යෂ්ටික අවි සහිත සබ්මැරීනයක් ඇතුළු අමෙරිකානු යුද නෞකා 7ක් සමඟ සෙබලුන් 4,500ක් පමණ ස්ථානගත කෙරුණු ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා සහයවීම පිණිස වෙනිසියුලානු - කොළොම්බියා දේශ සීමාව ආශ්‍රිතව 25,000ක පමණ භට පිරිසක් යෙදවීමට කොළොම්බියා රජය පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම අමෙරිකානු යුද නෞකා ස්ථානගත කිරීමත් සමඟ හමුදා සේවයට බැදීම සඳහා විශාල වශයෙන් වෙනිසියුලානු ජාතිකයින් ඉදිරිපත් වන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
අමෙරිකානු යුද නෞකා ස්ථානගත කිරිම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටෙරෙස් වෙත පැමිණිලි කිරිමට ද වෙනිසියුලාව කටයුතු කර තිබේ.