මුත්තියාන්කට්ටු වැවෙහි තිබී හමු වූ පුද්ගල මළ සිරුර ගැන විශේෂ විමර්ශනයක්
August 11, 2025 02:19 pm
මුලතිව් මුත්තියාන්කට්ටු වැවෙහි තිබී පුද්ගල මළ සිරුරක් හමුවීමේ සිදුවීම සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුතුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිසිය පැවසුවේ මුත්තියාන්කට්ටු ශිවනගර් යුද හමුදා කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවා හැරීමේදී එක් අයෙක් මෙලෙස වැවෙහි ගිලී මියගොස් ඇති බවය.
මුලතිව් ඔඩ්ඩුසාන් මුත්තියාන්කට්ටු වැවෙහි පාවෙමින් තිබියදී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබුණේ පසුගිය 09 වැනිදායි.
ඒ ප්‍රදේශවාසීන් පිරිසක් විසිනි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය වෙත ඊයේ නිවේදනයක් නිකුත්කර තිබුණි.
එහි සඳහන් වන්නේ මුත්තියාන්කට්ටු ශිවනගර්හි පිහිටි, යුද හමුදා 12වන සිංහ රෙජිමේන්තු කඳවුරට අනවසරයෙන් ඇතුළු වූ පිරිසක් පළවාහැරිමට එම නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී පලාගිය එක් අයෙක් වැවෙහි ගිලී මියගොස් ඇති බවය.
එම යුද හමුදා කඳවුර ඉවත් කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් එහිදී කඳවුරෙන් ඉවත් කෙරෙන යකඩ සහ වෙනත් දෑ රැගෙනයාමට පසුගිය 07වැනිදා රාත්‍රියේ පුද්ගලයින් පස් දෙනෙකු එම කඳවුරට ඇතුළුවී ඇති බවත් එහි සඳහන් වේ.
එහිදී කඳවුරේ නිලධාරීන් ඔවුන්ව දැක තිබූ අතර එම නිලධාරීන් පිරිස පලවාහැරීමට කටයුතු කර ඇති බව නිවේදනයේ සඳහන් වේ.
පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර එහිදී සැකපිට සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවය.
එහිදී එක් සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ කඳවුරට ඇතුළු වූ පිරිසට පහරදීමක් සිදුව ඇති බවට අනාවරණ වීමත් සමගය.
අනෙකුත් සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ එම පිරිසට කඳවුරට ඇතුළුවීමට සහ සොරකමට අනුබලදීමේ චෝදනා මත බව පොලිසිය සඳහන් කළේය.
එම සෙබළුන් තිදෙනා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් පසු මෙම මස 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මුත්තියාර්කට්ටු වැවේ ගිලීගොස් මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය රෝහලේදී සිදුකළ අතර එහිදී ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධ විමර්ශන සිදුවෙමින් ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාවද තරකර ඇත.