පසුගිය පැය 24දී සිදු වූ විශේෂ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ නිවේදනයක්

පසුගිය පැය 24දී සිදු වූ විශේෂ අත්අඩංගුවට ගැනීම් පිළිබඳ නිවේදනයක්

July 29, 2025   10:53 am

පසුගිය මාස කිහිපය තුළදී සංවිධානාත්මක අපරාධකරුවන් මෙන්ම විවිධ අපරාධවල නිරත වූ සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයන්ද ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගනිමින් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි.

රටෙහි නීතිය හා සාමය ස්ථාපනය කිරීමේ අරමුණින් සිදු කරන මෙම අත්අඩංගුවට ගැනීම්වලට අදාළ සුවිශේෂි අත්අඩංගුවට ගැනීම් කිහිපයක් ඊයේ (28) දිනය තුළදී සිදු කිරීමට ශ්‍රී ලංකා පොලීසිය සමත්ව ඇත.

ඒ අනුව හිටපු නාවික හමුදාපතිවරයෙකු වන නිශාන්ත උළුගේතැන්න යන අය පුද්ගල අතුරුදන්වීමක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ෂණවලට අදාළව 2025-07-28 වන දින අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහුව පොල්ගහවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 30 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

එමෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ප්‍රියන්ත ජයකොඩි යන අය ඊයේ (28) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් විය.

ඒ පසුගිය 05 වනදා හෝ ඊට ආසන්න දිනකදී විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස හැඳින්වෙන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා විසින් ඉහත කී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන ප්‍රියන්ත ජයකොඩි යන අයටත් හිටපු අමාත්‍ය ටිරාන් අලස් යන අයටත් සහ ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක යන අයටත් සිදු කළා යයි කියනු ලබන තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්දයෙනි.

එකී තර්ජනය කිරීම් වට්සැප් (Whatsapp) ඇමතුම් මාර්ගයෙන් සිදු කර ඇති බවට වාර්තා වූ අතර එකී කළා යැයි කියනු ලබන තර්ජනය කිරීම් සම්බන්දයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ෂණය කර තිබේ.

එකී විමර්ෂණයන්ට අනුව සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

ඊට අදාළව සිදු කරන ලද විමර්ෂණයේදී මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන්ගේ නම් ව්‍යාජ ලෙස භාවිත කරමින් අදාළ තර්ජනය කිරීම් සිදුකර ඇති බවට අනාවරණය කරගෙන ඇති අතර එකී තර්ජනය කිරීම් අදාළ පාර්ශවයන් වෙත සිදුකළේ ඉහත කී විශ්‍රාමික ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන අයගේ ඉල්ලීමකට අනුව බවට අනාවරණය කරගෙන ඇත.

ඒ අනුව එකී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි යන අයව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ෂණ ආරම්භ කොට ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හික්කඩුව ලියනගේ සහන් සිසිකැලුම් හෙවත් වැලිගම සහන් යන අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපොළ ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

විවිධ අපරාධ සම්බන්ධයෙන් මොහුව පොලීසියට අවශ්‍ය සිට ඇති අතර මොහු ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 

මොහු විසින් සිදු කර ඇති අපරාධ අතර රන් ආභරණ හා මෝටර් බයිසිකල් කොල්ලකෑම් කිහිපයක් සිදු කර ඇත.

එමෙන්ම මොහු විසින් සිදු කරන ලද ආයුද පෙන්වා තර්ජනය කිරිම් මෙන්ම පුද්ගල ඝාතනයන් කිහිපයක් මෙන්ම වෙඩිතබා පුද්ගලයන්ට තුවාල කිරීමේ සිදුවීම්ද වාර්තා වන බව සඳහන් වේ.

2025-04-29 දින යතුරු පැදියකින් පැමිණ ටී 56 ගිණිඅවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදු වීමේ ප්‍රධාන වෙඩික්කරු වශයෙන් හඳුනා ගෙන ඇත. 

එමෙන්ම මට්ටක්කුලිය පොලිස් වසමේදී 2025-06-05 වන දින ටී 56 ගිණි අවියක් හා 9MM වර්ගයේ ගිණිඅවියක් භාවිතයෙන් වෙඩිතබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිදුවීමෙහි ටී 56 ගිණිඅවිය භාවිත කළ සැකකරු වශයෙන් මොහුව හඳුනාගෙන ඇත.

එමෙන්ම පානදුර දකුණ පොලිස් වසමේ 2025-06-29 දින යතුරුපැදි කොටස් අලෙවිකරන වෙළෙඳසැලකට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද සැකකරුවෙකු වශයෙන් මොහුව හඳුනාගෙන ඇත.

එමෙන්ම මොහු මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්වලදී අත්අඩංගුවට පත් වූ පුද්ගලයෙකු බවද වාර්තා වන අතර කාලයක් තිස්සේ නීතියේ රැහැනට කොටු කර ගැනීමට අවශ්‍යව සිටි පුද්ගලයෙකු බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව ඊයේ දිනය පුරාවට සිදුකළ විශේෂ අත්අඩංගුවට ගැනීම් කිහිපය මෙලෙස වාර්තා වූ අතර නීතියේ හා විධානයේ ආධිපත්‍යය ශ්‍රී ලංකාව තුළ තහවුරු කිරීම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වශයෙන් මේ වන විට විශාල මෙහෙයුම් ප්‍රමාණයක් සිදු කරමින් පවතින අතර එකී මෙහෙයුම් සාර්ථක කර ගැනීම සඳහා මහජනතාවගේ සහයද අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් වේ.

පාතාල ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කර දැමීමේ අරමුණින් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ විශේෂ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ විශේෂ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත්‍රිවිධ හමුදාව විසින් මේ වන විට සිදු වෙමින් පවතී.