යුක්‍රේන ඔත්තු සේවා ප්‍රධානියෙකු ඝාතනය කෙරේ

යුක්‍රේන ඔත්තු සේවා ප්‍රධානියෙකු ඝාතනය කෙරේ

July 11, 2025   04:58 pm

යුක්‍රේනයේ ප්‍රධාන පෙළේ බුද්ධි සේවා අංශ ප්‍රධානියෙකු කීව් අගනුවරදී හඳුනා නොගත් වෙඩික්කරුවෙකු විසින් ඝාතනය කර තිබේ.

ඊයේ (10) වාර්තා වූ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගොස් ඇති බව වාර්තා වේ.

යුද හමුදා කර්නල්වරයෙකු වන ඉවාන් වොරොනිච් නැමැති මෙම බුද්ධි අංශ ප්‍රධානියා රුසියාවට එරෙහිව යුක්‍රේනය පසුගියදා ක්‍රියාත්මක කළ ප්‍රහාර රැසක් සැලසුම් කළ අයෙකි. 

යුක්‍රේනයේ ඉහළ පෙළේ ආරක්ෂණ මෙහෙයුම් සහ ත්‍රස්ත මර්දන ක්‍රියාමාර්ග සැලසුම් කරන 16 වැනි බළකායේ ප්‍රධානියා ලෙස ඔහු කටයුතු කර ඇත.

යුක්‍රේනය විසින් ද මීට පෙර රුසියාව මොස්කව් නුවරදී ඉහළපෙළේ රුසියානු ආරක්ෂණ ප්‍රධානීන් ඝාතනය කිරීම් පිළිබඳ වාර්තා වුණි.

මේ නිසා මෙම ඝාතනයට රුසියානු සම්බන්ධයක් ඇති බව විශ්වාස කෙරේ.

කෙසේ නමුත් ඝාතකයන් පලා ගොස් ඇති බව යුක්‍රේන ආරක්ෂක අංශ ප්‍රකාශ කළේය. 

මේ අතර, රුසියානු - යුක්‍රේන යුද්ධයේ සාමයකට එළැඹීම තවදුරටත් දුරස්ථ කරමින් යුක්‍රේනය වෙත එල්ල කරන සිය ප්‍රහාර උත්සන්න කිරීමට රුසියාව පියවර ගෙන තිබේ.

වසර 3 1/2ක් තිස්සේ රුසියානු ප්‍රහාරවලට ලක්වූ යුක්‍රේනයේ කීව් අගනුවර වැසියන්ට දැන් එය දැරිය නොහැකි තරමට උත්සන්න වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි.

විශේෂයෙන් මාස කිහිපයක සිට කීව් නුවරට විශාල වශයෙන් එල්ල වන ඩ්‍රෝන් ප්‍රහාර සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.

රුසියානු ඩ්‍රෝන් සහ මිසයිල සිය ගණනක් එක්වර යම් නගරයක් ඉලක්ක කරගෙන එල්ල කිරීම දැන් යුක්‍රේනයේ එදිනෙදා යථාර්ථයක් බව පත්ව තිබේ.

ඊයේ රාත්‍රියේ නැවතත් එම ප්‍රහාරවල ඉලක්ක වී තිබෙන්නේ කීව් අගනුවරයි. 

වසර 3කට පෙර රුසියාව සිය ප්‍රහාර සඳහා යොදාගත් ඉරාන ෂාහෙඩ් ඩ්‍රෝන් යානා වෙනුවට අති බිහිසුණු ප්‍රහාර එල්ල කළ හැකි ඩ්‍රෝන් යානා රුසියාව විසින් යොදා ගන්නා බව වාර්තා වේ.

මේ නිසා සිවිල් වැසියන් ජීවිතක්ෂයට පත්වීම ද ඉහළ ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ යුක්‍රේනය පිළිබඳ මානව හිමිකම් අධීක්ෂණ මෙහෙයුම පවසන ආකාරයට පසුගිය ජූනි මාසයේදී පමණක් රුසියානු ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 232 දෙනෙකු මිය ගොස් තවත් 1300ක් තුවාල ලබා ඇත.

මේ අතර යුක්‍රේන යුද්ධය නිමා කරලීම සඳහා තම සාම ප්‍රයන්තය සාර්ථක නොවන බව පෙනී යාමත් සමග ජනපති ට්‍රම්ප් රුසියාවට එරෙහි පියවර සඳහා සහාය දක්වන්න තීරණය කර තිබේ.

ඒ අනුව අමෙරිකානු යුද අවි යුක්‍රේනයට ලබාදීම සඳහා නේටෝ සංවිධානය සමග එකඟතාවයකට එළඹුණු බව ජනපති ට්‍රම්ප් NBC රූපවාහිනී සේවාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මෙහිදී යුක්‍රේනය සඳහා අමෙරිකාවෙන් යුද අවි මිලදී ගැනීමට නේටෝ සංවිධානය කටයුතු කරනු ඇත. 

අදාළ ගෙවීම් 100%ක්ට නේටෝ සංවිධානය විසින් සිදුකරන බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේය. 

යුක්‍රේනයට අවශ්‍ය ප්‍රේටියට් ගුවන් ආරක්ෂණ මිසයිල අමෙරිකාවෙන් මිලදී ගැනීමට ජර්මනිය ද සූදානම් බව ජර්මන් චාන්ස්ලර් ෆ්‍රිඩ්රච් මර්ස් පවසා තිබුණි.