සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

July 11, 2025   05:58 am

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) නිකුත් කරනු ලැබීය.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන  https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම එළැඹෙන 14වනදා සිට 28වනදා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.

එමෙන්ම ප්‍රතිඵල පිළිබඳ කිසියම් විමසීමක් අවශ්‍ය නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 ඇමතීමෙන් හෝ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ දුරකතන අංක වන 0112-785922, 0112-784208, 0112-786616 සහ 0112- 784537 යන දුරකතන අංක මගින් විමසීම් කළ හැකිය.

2024 සාමාන්‍ය පෙළ විභාගය ඉකුත් මාර්තු මස 17 වනදා සිට 26 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,664කදී   පැවැත්විණි.

ඒ සඳහා සිසුන් 474,147 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් 398,182 දෙනෙක් පාසල් අයදුම්කරුවන් විය.

මේ අතර සියලුම විදුහලිපතිවරුන්ට අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාමය සහ මුරපදය භාවිතාකර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එමෙන්ම සියලුම පළාත් සහ කලාප අධ්‍යපන අධ්‍යක්ෂකවරුන්ටද පරිශීලක නාමය සහ මුරපදය භාවිතාකර සියලු පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල බාගත කර කිරීමේ හැකියාව ද සලසා ඇත.

සියලුම පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ටද සිය විභාග අංකය හෝ ජාතික හැදුරුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් බාගත කරගැනීමට හෝ නිරීක්ෂණය කිරීමට පහසුකම් සලසා තිබේ.

තවද එලෙස ලබාගන්නා මුද්‍රිත ප්‍රතිඵල සටහන් උසස්පෙළ පන්ති සඳහා ඇතුළත්වීමට වලංගු ලේඛනයක් ලෙස පිළිගන්නා බවද විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

සියලුම පාසල් අයදුම්කරුවන්ගේ මුද්‍රිත ප්‍රතිඵල ලේඛන අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල ලේඛන එම අයදුම්කරුවන් වෙතත් නැවත සමීක්ෂණයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බවද විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

එමෙන්ම විභාගයේ සහතික පත් එළැඹෙන සඳුදා සිට මාර්ග ගතක්‍රමය ඔස්සේ අයදුම්කිරීමට පහසුකම් සලසා තිබේ.