සිංගිමලේ ජලාශයේ ජලය ලබාගැනීම තාවකාලිකව අත්හිටුවයි

සිංගිමලේ ජලාශයේ ජලය ලබාගැනීම තාවකාලිකව අත්හිටුවයි

July 10, 2025   04:21 pm

හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඉකුත් 8වනදා පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් එදින සිට මෙම තීරණය ගෙන ඇති බව හැටන් ජල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ වැඩබලන නිළධාරි ලාල් විජේනායක මහතා පැවසීය.

අඹගමුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තිළිණි මහත්මිය ඇතුළු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම ජලාශයෙ ජලය පානීය ජලය ලබාගැනීම සුදුසුද යන්න පිළිබදව සොයා බැලීමට එම ජලාශයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේ ලාල් විජේනායක මහතා මේ බව පැවසීය.

මේ වනවිට එම ජලාශයේ ජල සාම්පලයක් ලබාගෙන ජල සම්පාදන මණ්ඩලයේ රාසායනාගාරය වෙත යොමුකර තිබේ.

එම වාර්ථාව ලැබීමෙන් පසු ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරින්ගේ උපදෙස් මත ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් මේ වනවිට හැටන් දික්ඔය ඉන්වේරි ජල මූලාශ්‍රයෙන් ජලය ලබා ගෙන පිරිපහදු කර පාරිභෝගිකයන්ට පිරිසිදු පානීය ජලය සීමාකර නිකුත් කෙරේ.

මේ අතරමෙම ජලාශයට නිතර පාසල් ළමුන් ඇතුලු විවිධ පුද්ගලයන් දිවා කාලයේදි පැමිණෙන නිසා එම ජලාශයට ඇතුළුවීම තහනම් කිරීමට සහ ආරක්ෂිත වැටක් ඉදිකිරිමට හෝ දිවා කාලයේ දී මුරකරුවෙකු යෙදවීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුව තිබේ.

සිංගිමලේ රක්ෂිතයේ ඡායාරූප ගැනීමට ගොස් ආපසු ජලාශ වේල්ල මතින් පාසල් සිසුන් 06 දෙනෙකු ආපසු නිවස කරා එන අතරතුර ජලාශයෙන් පය සේදීමට උත්සහ කල සිසුවෙකු ජලාශයට වැටී අතුරුදහන්ව සිටියදී, නාවික හමුදාවේ කිමිදුම්කරුවන් විසින් ඊයේ (09) එම සිසුවාගේ සිරුර ගොඩගනු ලැබූහ.