ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි
සයුරෙන් එතෙර

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි

June 17, 2025   07:54 am

ටෙහෙරානයෙන් ඉවත් වන්නැයි අමෙරිකානු ජනපති ට්‍රම්ප් සියල්ලන්ට දැනුම්දෙයි.

ඊශ්‍රායලයෙන් එල්ල විය හැකි ප්‍රබල ප්‍රහාරයක අවදානම සලකා, ටෙහෙරාන් නුවරින් ඉවත්ව යන ලෙස එහි වෙසෙන ජනතාවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ.

ඊශ්‍රායලය පසුගිය සිකුරාදා ඉරානය වෙත ගුවනින් ප්‍රහාර මාලාවක් ආරම්භ කළේ එරට න්‍යෂ්ටික වැඩපිළිවෙළ සිය රටට තර්ජනයක් වන බවට චෝදනා කරමින්ය.

ඉරාන හමුදා ප්‍රධානීන් මෙන්ම න්‍යෂ්ටික ක්ෂේත්‍රයේ කීර්තිමත් විද්‍යාඥයින් රැසකට දිවි අහිමි කළ මේ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය ද ඊශ්‍රායලයේ ජනාකීර්ණ කලාප ඉලක්ක කරමින් ප්‍රහාර ආරම්භ කළේය.

ඉන් පසුව දෙරටම ප්‍රහාර කිහිපයක් එල්ල කරගත් අතර ඊයේ රාත්‍රියේ ටෙහෙරාන් අගනුවර පිහිටි ඉරාන රජයේ රූපවාහිනී නාළිකාවට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වුණි.

ඉන් එහි ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් ඇතුළු දෙදෙනෙක් මියගොස් තිබුණි.

මෙවන් පසුබිමක ඉරානයේ ටෙහෙරාන් නුවර වෙසෙන මිලියන 10 ඉක්මවූ ජනතාවට වහාම ඉන් ඉවත් වන ලෙසට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ මැදියම් රැයේදී අනතුරු ඇඟවූවේය.

ඒ දෙරට අතර ගැටුම් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණි ඇති බවට සංඥාවක් ලබාදෙමින්ය.

මේ අනුව අද අලුයම් කාලයේදීම ටෙහෙරාන් වැසියන් දහස් ගණනින් නගරයෙන් පිටවගියේය.

ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් අනතුරුව, අද උදෑසන කාලයේදී ටෙහෙරාන් අගනුවර ස්ථාන කිහිපයකින් පිපිරීම් හඬවල් ඇසී තිබුණි.