නීතිවිරෝධී ධීවර කටයුතු කළ 76ක් නාවික හමුදා භාරයට

නීතිවිරෝධී ධීවර කටයුතු කළ 76ක් නාවික හමුදා භාරයට

June 11, 2025   10:13 pm

තහනම් ධීවර දැල් සහ පන්නක්‍රම භාවිතයෙන් ධීවර කර්මාන්තයේ යෙදුණු පුද්ගලයන් 76 දෙනෙකු සමග ඩිංගි යාත්‍රා 20ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් නාවික හමුදාව දන්වා සිටියේ, පසුගිය දෙසතිය තුළ එනම්, මැයි 26 සිට ජුනි 07 දක්වා වූ කාලය තුළ දේශීය ජල තීරය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුම් මගින් මෙම පිරිස සිය භාරයත් ගත් බවයි.

ඒ අනුව යාපනය, කඩෙයිකාඩු සහ පුදුමාතලන්, ත්‍රිකුණාමලය කල්ලඩිචේනයි, අඩුක්කුපාඩු, කොඩ්බේ, පොඩුවකට්ටු, කුච්චවේලි සහ සල්පේආරු මෙන්ම මඩකලපුව ‍පලමින්මාඩු යන වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු සහ නැගෙනහිර නාවික විධාන මගින් මෙම මෙහියුම් සිදුකර ඇත.

මෙහිදී තහනම් ධීවර දැල් භාවිතයෙන්, විදුලි ආලෝක ධාරා භාවිතයෙන් සහ රාත්‍රී කාලයේ නීති විරෝධි ලෙස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම හේතුවෙන් මෙම සැක‍කරුවන් නාවික හමුදා භාරයට පත්ව තිබේ.

එමෙන්ම ඩිංගි යාත්‍රා 20ක් සමග තහනම් ධීවර දැල් 17ක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගැනීමට ක‍ටයුතු කර ඇත.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් තහනම් ධිවර ආම්පන්න සහ ධීවර යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, ත්‍රීකුණාමලය, ඊචලම්පත්තු, මුලතිව්, කුච්චවේලි, කොඩ්බේ සහ මඩකලපුව ධිවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාල වෙත භාරදීමට කටයුතු කර තිබේ.