නිදහස් කළ සිරකරුවෙකු ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

නිදහස් කළ සිරකරුවෙකු ගැන බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

June 6, 2025   10:12 pm

වෙසක් සමාව යටතේ රැඳවියෙකු නිදහස් කිරීම සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන් සම්බන්ධව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අතුල තිලකරත්න යන මෙම සිරකරු බන්ධනාගාර ගත කර ඇත්තේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංඝනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස අධිකරණය නියම කර ඇති බවත්ය.

එමෙන්ම එම දඩය නොගෙවන්නේ නම් මාසය 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත් බවත්ය. 

පසුගිය මැයි මස 12 වැනි දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිත්තෙන් 05 වැනි දින වන විට බන්ධනාගාරතව සිටින රැඳවියන් සඳහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසිවලට යටත් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබේ.

ඒ අනුව මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණක් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.