ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට සූදානම්

ජනපතිගේ වියට්නාම සංචාරයේදී ගිවිසුම් කිහිපයකට එළඹීමට සූදානම්

May 2, 2025   10:51 am

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සිදු කිරීමට නියමිත වියට්නාම් සංචාරය පිළිබඳව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ ජනාධිපතිවරයා විසින් එළැඹෙන මැයි මස 04 වැනි දින සිට 06 වැනි දින දක්වා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරතවන බවය.

මෙම සංචාරයේදී ජනාධිපතිවරයා වියට්නාම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඇතුළු ජ්‍යෙෂ්ඨ සම්භාවනීය අමුත්තන් රැසක්ද හමුවීමට නියමිත බවත් අමාත්‍යංශය පවසයි.

එමෙන්ම හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රධාන දේශනයක්ද පැවැත්වීමට නියමිත බවත් අමාත්‍යංශ නිවේදනයේ සඳහන්ව ඇත.

තවද මෙම සංචාරයේදී දෙපාර්ශ්වය අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තැබීමද අපේක්ෂා කරන අතර ව්‍යාපාරික ප්‍රජාව සමගද එක්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන බවත් එහි සඳහන්ව තිබේ.

මෙම වසර රාජ්‍ය ත්‍රාන්ත්‍රික සබඳතාවලට වසර 55ක් සපිරෙන බැවින් වියට්නාම සංචාරය දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කරනු ඇතැයිද මෙම සංචාරය මගින් අපේක්ෂා කරනු ඇත.

මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමග විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වීමට නියමිත බවත් එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

අමාත්‍ය මණ්ඩලයේ දී අනුමැතිය හිමිවූ අදාළ ගිවිසුම් පහතින් දැක්වේ.

* ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පුහුණු ආයතනය (BIDTI) සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර අවබෝධතා ගිවිසුම

සංකීර්ණ සමකාලීන ලෝකයේ එකිනෙකා සමඟ සමීප ව සම්බන්ධ වී ඇති ද්විපාර්ශ්වික, කලාපීය සහ ජාත්‍යන්තර කටයුතු සඳහා නව්‍ය අදහස් සහ මත ලබා ගැනීමේ අරමුණ සහිතව පොදුවේ උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගිතාවක් පවත්වා ගැනීම සඳහා ආයතනික සබඳතා ඇති කර ගැනීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන බණ්ඩාරනායක ජාත්‍යන්තර රාජ්‍යතාන්‍ත්‍රික පුහුණු ආයතනය සහ වියට්නාමයේ රාජ්‍යතාන්ත්‍රික විද්‍යායතනය අතර එකඟතාවකට පැමිණ ඇත. 

ඒ සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට යෝජිත අතර එමඟින් විශේෂඥතාව බෙදා ගැනීම, රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන්, නිලධාරින්, විශේෂඥයින් සහ පර්යේෂකයින් හුවමාරු කර ගැනීම මෙන්ම අධ්‍යයන හා පර්යේෂණ වැඩසටහන්, විවිධ පාඨමාලා, සම්මන්ත්‍රණ, රාජ්‍යතාන්ත්‍රික ක්ෂේත්‍රයේ අනෙකුත් අධ්‍යයන කටයුතු සහ පුහුණුවීම්වලට අදාළ විශේෂඥතාව සංවිධානය කිරීම සහ හුවමාරු කර ගැනීම සඳහා පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිත ය.

ඒ අනුව, වසර තුනක (03) කාලයක් සඳහා වලංගු වන අවබෝධතා ගිවිසුමකට දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම (MoU) අලුත්කිරීම.

දෙරට අතර විදුලි යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය ඇතුළු යාන්ත්‍රික උපකරණ සහ යාන්ත්‍රික උපකරණ අංශයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම සඳහා එවකට කර්මාන්ත විෂයභාර අමාත්‍යාංශය සහ වියට්නාම සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට 2011 වර්ෂයේදී අත්සන් තබා ඇත. 

2019 වර්ෂයේදී දෙරට අතර පැවති වෙළඳාම පිළිබඳ අනුකමිටුවේ දෙවන රැස්වීමේදී එකී අවබෝධතා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වයම එකඟතාවකට පැමිණ තිබේ. 

ඒ අනුව, දියුණු තාක්ෂණයන් හුවමාරු කිරීමට පහසුකම් සැලසීමෙන් සහ දේශීය පාර්ශ්වකරුවන් සඳහා පුහුණුව සහ ධාරිතා ගොඩනැංවීමේ කටයුතු සඳහා ප්‍රවේශය ලබා දෙමින් සංශෝධන ඇතුළත් කොට යාවත්කාලීන කරන ලද යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

*වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය (VTETRADE) සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම.

ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර වෙළෙඳ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත. 

දෙපාර්ශ්වයට අදාළ වෙළෙඳාම පිළිබඳ තොරතුරු සහ වෙළෙඳපොළ බුද්ධිය හුවමාරු කර ගැනීම, දෙරටේම පැවැත්වෙන වෙළෙඳ ප්‍රදර්ශන, ප්‍රදර්ශන සහ ප්‍රවර්ධන අවස්ථා සඳහා ඒකාබද්ධ සහභාගිත්වය සහ ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් අතර රැස්වීම් සංවිධානය කිරීම ඇතුළු පුළුල් පරාසයක වෙළෙඳ ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සඳහා මෙම අවබෝධතා ගිවිසුම යටතේ අවකාශ සැලසේ.

මෙම සහයෝගිතාව මඟින් විශේෂයෙන් සැකසූ ආහාර, ධීවර කටයුතු, ඇඟලුම් සහ අගය එකතු කළ කෘෂිකර්මාන්තයට සැලකිය යුතු වෙළෙඳපොළ අවස්ථාවන් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව ලැබී ඇත. 

ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුම වියට්නාම වෙළෙඳ ප්‍රවර්ධන ආයතනය සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.