අසත්‍ය පුවතක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

අසත්‍ය පුවතක් ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

April 11, 2025   04:27 pm

විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රු.10,000ක මුදලක් ලබාදෙන බව පවසා විදේශ රටක සිට ක්‍රියාත්මක කරන Youtube නාළිකාවක් මඟින් සිදුකරන ප්‍රචාරය මුළුමනින්ම අසත්‍ය බව කාර්යාංශය සඳහන් කරයි.

විගමණික ශ්‍රමිකයින්ගේ ගමන් බලපත්‍රයේ පිටපතක්, දිවයිනේ පිහිටි ඕනෑම කාර්යාංශයේ කාර්යාලයකට යොමුකරන ලෙස අදාළ වීඩියෝව මඟින් දන්වා සිටී. 

එවැනි නිවේදනයක් කාර්යාංශය මඟින් කිසිදු අවස්ථාවක නිකුත් කර නොමැති අතර, මෙම වංචනික ක්‍රියාවට හසුනොවන ලෙස කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එවැනි වැඩපිළිවෙළක් මෙතෙක් කාර්යාංශය මඟින් ක්‍රියාත්මක නොකරන බවත්, මෙය විගමණික ප්‍රජාව නොමඟ යැවීමේ චේතනාවෙන් සිදුකරන ප්‍රචාරයක් පමණක් බව කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන මෙන්ද කාර්යාංශය විගමණික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

එසේම රජයේ නිල නිවේදන ප්‍රචාරය කිරීම සඳහා මෙවැනි සමාජ මාධ්‍ය වෙත බලය පවරා නොමැති අතර, ඉදිරියේදී මෙවැනි වංචාකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කාර්යාංශයේ නිල නිවේදන පිළිගත් ජනමාධ්‍ය, කාර්යාංශයේ නිල වෙබ් අඩවිය, Facebook, Youtube හා Tiktok මාධ්‍යයන් හරහා පමණක් සිදුකරන බවද කාර්යාංශය සඳහන් කරයි.