පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

පෙත්සම සලකා බැලීමෙන් තවත් විනිසුරුවරයෙකු ඉවත් වෙයි

March 28, 2024   05:56 pm

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වශයෙන් පත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින්  ඉදිරිපත් කරනු ලැබූ නිර්දේශය ප්‍රතික්‍ෂේප කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ බී. පී. එස්. එම්. පතිරත්න මහතා ගොනුකර ඇති පෙත්සම සලකා බලන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ තවත් විනිසුරුවරයෙකු අද (28) ඉවත් විය.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ අදාළ පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් පෞද්ගලික හේතූන් මත තමා ඉවත් වන බවයි.

මෙම පෙත්සම ඉකුත්දා සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාද එය සලකා බැලීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබුණි.

ඒ අනුව මෙම පෙත්සම සලකා බැලීමේ කටයුතුවලින් මේ වන විට විනිසුරුවරු දෙදෙනෙක් ඉවත් වී සිටිති.

ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම සලකා බැලීමටද අධිකරණය නියම කළේය.

මෙම අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරය හදිසි නඩු කටයුත්තක් සේ සලකා එළඹෙන අධිකරණ නිවාඩු සමයේ වුවද එය සලකා බැලීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්. තුරෙයිරාජා මහතා ප්‍රකාශ කළේ එවැනි දිනයක් ලබාදිය නොහැකි බවයි. 

ඒ අනුව අදාල පෙත්සම සලකා බැලීම සඳහා අප්‍රේල් මස 30 වනදා කැඳවන ලෙසත්  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දින නියම කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින්, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.