ඩොලර් ට්‍රිලියන 3ක ආදායම් උපයන ජාවාරම් කල්ලිය

ඩොලර් ට්‍රිලියන 3ක ආදායම් උපයන ජාවාරම් කල්ලිය

March 28, 2024   05:37 pm

අග්නිදිග ආසියානු කලාපය මිනිස් ජාවාරම සහ සයිබර් අපරාධ සම්බන්ධ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් කුප්‍රකට කලාපයකි.

පසුගිය සමයේ අවස්ථා කිහිපයකදී මියන්මාරය, කාම්බෝජය වැනි රටවලින් මෙවැනි සයිබර් අපරාධ කල්ලි සහ ජාල සම්බන්ධ පුවත් රැසක් ද වාර්තා වී තිබුණි.

විචාරකයින්ට අනුව අග්නිදිග ආසියානු කලාපය තුළ මෙම ජාවාරම වඩාත් ව්‍යාප්ත වී ඇත්තේ කොවිඩ් වසංගත කාලය තුළදී ය.

ඒ මාර්ගගත ක්‍රමවේද සඳහාජනතාව වඩාත් නැඹුරුවීම සහ කොවිඩ් කාලය තුළ මිනිසුන් ඒවාට හුරුවීම හේතුවෙනි.

අග්නිදිග ආසියාවට පමණක් අනන්‍ය වූ මෙම ජාවාරම දැන් ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව ජාත්‍යන්තර පොලීසිය අනාවරණ කර තිබේ.

ඒ අනුව දැනටමත් මෙම සංවිධානාත්මක අපරාධ ජාලය වාර්ෂිකව අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 3ක ආදායමක් උපයන ව්‍යාපාරයක් වී ඇති බව ජාත්‍යන්තර පොලීසිය පවසයි.

මෙම ජාවාරම සඳහා විශාල වශයෙන් පිරිස් එක්වෙමින් සිටින බවත් එම ජාවාරම්වලට දැනටමත් මිලියන සංඛ්‍යාත පිරිසක් රැවටී ඇති බවත් ජාත්‍යන්තර පොලීසිය පවසා ඇත.

මෑතකදී බිහිවූ මෙම නව අපරාධ මේ වන විට ලොව රටවල් රැසකට හිසරදයක් ව පවතී.

ජාත්‍යන්තර පොලීසියට අනුව ලොව සංවිධානාත්මක අපරාධ කල්ලිවල ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම ය.

මෙතෙක් අනාවරණ වූ කරුණුවලට අනුව සයිබර් වංචා මධ්‍යස්ථානවල සේවය කරන පිරිස ද ඒවායේ සේවයේ යොදවාගන්නේ බලහත්කාරයෙනි.

නීත්‍යානුකූල රැකියා දෙන බවට පවසා ගෙන්වා ගන්නා අඩු ආදායම් රටවල තරුණ තරුණියන් මෙම සයිබර් වංචා මධ්‍යස්ථානවල සේවයට යොදාගන්නේ වැඩි වැටුප් ලබාදෙන පොරොන්දුව මතය.

කෙසේ නමුත් පසුව ඔවුන් එහි රඳවාගෙන බලහත්කාරයෙන් ඔවුන් සේවයේ යෙදවීම මෙම ව්‍යාපාරයේ ස්වභාවය වී තිබේ.

විෂයේ ප්‍රවීණයන්ට අනුව මෙය සිදුකරන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම විවිධාංගීකරණය කිරීමේ පියවරක් ලෙසය.

එමගින් නව මාදිලියේ ආදායම් ඉපයීම අපරාධ කල්ලිවල උත්සාහය බව ජාත්‍යන්තර පොලිසියේ ද මතය වේ.

කෙසේ නමුත් තවමත් ලොව බහුතර අපරාධ කල්ලිවල ප්‍රධාන ආදායම් මාර්ගය එනම් සමස්ත ආදායමෙන් සියයට 40ත් 70ත් අතර ප්‍රමාණයක් උපයාගන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමෙනි.

නව සයිබර් ජාවාරමේ ආදායමත් සමග එක් සංවිධානයක් වාර්ෂික අමෙරිකානු ඩොලර් බිලියන 50 ක් පමණ උපයනු ඇති බව වාර්තා වේ.

එක්සත් ජාතීන්ට අනුව සයිබර් වංචා මධ්‍යස්ථාන, ගෝලීය නීතිවිරෝධී මිනිස් ජාවාරමට ද දක්වන්නේ දැඩි දායකත්වයකි.

පසුගිය වසරේදී පමණක් මෙලෙස සයිබර් අපරාධ මධ්‍යස්ථානවල සේවය කිරීම සඳහා ලක්ෂය ඉක්මවූ පිරිසක් කාම්බෝජය වෙත ගෙන ගොස් ති‌බේ.

ගිය වසරේ නොවැම්බර් මාසයේදීත්, මෙලෙස විවිධ සයිබර් අපරාධ සඳහා භාවිත කරන මධ්‍යස්ථානයක සේවය කළ චීන ජාතිකයින් දහස් ගණනක් මුදාගෙන චීනයට බාරදීමට මියන්මාර රජය කටයුතු කළේය.

මෙවැනි අපරාධ මධ්‍යස්ථානයක ශාඛාවක් තායිලන්තය තුළ ද පවතින බවට පසුගිය වසරේදී රොයිටර්ස් මාධ්‍ය ජාලය අනාවරණ කර තිබුණි.

ඔවුන් ඒ සම්බන්ධයෙන් සොයාගෙන තිබුණේ ඔවුන් සිදුකළ ස්වාධීන විමර්ශනයක් අනුවය.

මෙවැනිම මුදල් විශුද්ධිකරණ වංචාවක් සම්බන්ධයෙන් අනාවරණ කිරිමට සිංගප්පූරු රජය පසුගිය වසරේදී සමත්විය.

එහිදී අත්අඩංගුවට පත් වත්කම්වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3කි.