අත්හැර දැමූ බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට
January 24, 2024 02:15 pm
කල්පිටිය - මාම්පූරි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී බීඩි කොළ කිලෝග්‍රෑම් 520කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
වයඹ නාවික විධානයට අනුයුක්ත වෙරළබඩ මුර යාත්‍රාවක් අදාළ මුහුදු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක දී මෙම බීඩි කොළ තොගය සොයාගත් බව නාවික හමුදාව අවධාරණය කරයි.
එහි දී මුහුදේ පා වෙමින් තිබූ මෙම බීඩි කොළ තොගය නාවික හමුදා භාරයට ගෙන ඇති බව සඳහන්ය.
මෙම තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකි ව ජාවාරම්කරුවන් විසින් මුහුදේ අතහැර දමා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.