ආර්ථික දියුණුව සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කළ යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

ආර්ථික දියුණුව සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කළ යුතු බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

July 14, 2023   03:30 pm

ආර්ථික වර්ධනය උදාකර ගැනීම සඳහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

දැඩි තරගකාරී ආර්ථික රටාවකට ලංකාව නතු කිරිම තම අපේක්ෂාව බව සඳහන් කළ ජනාධිපතිවරයා, හරිත හා ඩිජිටල් ආර්ථිකයක් තුළින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බවද පෙන්වා දෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ ඊයේ (13) පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

ඉන්දියානු ව්‍යාපාරික ප්‍රජාව විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද මෙහිදී සිදු වූ අතර, ජනාධිපතිවරයා එම ව්‍යාපාරික ප්‍රජාව සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය කරා යන ගමනේදී ඉන්දියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට අපේක්ෂා කරන බවත් ඉන්දීය ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා මෝදි අගමැතිවරයා ගෙන ගිය මූල්‍ය ප්‍රතිපත්තිය මෙරට ආර්ථිකයේ දියුණුවට පිටිවහලක් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.