සජිත්ට කළ ආරාධනය ගැන ජනපති යළි සිතා බැලිය යුතු බවට මද්දුම බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

සජිත්ට කළ ආරාධනය ගැන ජනපති යළි සිතා බැලිය යුතු බවට මද්දුම බණ්ඩාරගෙන් ප්‍රකාශයක්

July 4, 2023   06:41 pm

ජනාධිපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සිදු කළ ආරාධනය සම්බන්ධයෙන් යළිත් වරක් සිතා බැලිය යුතු බව සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (03) දිනයේ දී ජනාධිපතිවරයා, ජනතාවගේ ප්‍රශ්න නිරාකරණය කිරීම සදහා ආණ්ඩුවත් සමඟ එක් වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයට ඉල්ලීමක් කළේ ය.

මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලබා දුන් සමඟි ජන බලවේගය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර.

''අපි ඒ ගැන කෘත්‍යාධිකාරී මණ්ඩලය ඇතුළෙ සාකච්ඡාවක් කරන්න ඉන්නේ. ඒත් මීට කලිනුත් ජනාධිපතිවරයා අපිට ඔහොම ආරාධනා කළා. ඒත් සාකච්ඡාවට එන්න කිවුවම එන්නෙ නෑ. එතුමා මීට කලිං කීප පොළක ම ඔය කතාව කියලා තියනවා. එතුමාගේ ඉලක්කය ඊළඟ ජනාධිපතිවරණය. එතුමා මොනාට ද කතා කරන්න එන්න කියන්නේ කියලා අපි දැනගන්න කැමැතියි''

ජනාධිපතිවරයාගේ ආරාධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ සාගර කාරියවසම් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පළ කළේ මෙවන් අදහසක්.

''අපි රනිල් වික්‍රමසිංහ මහත්තය ව ජනාධිපති කළේ, රටේ ඒ වෙලාවෙ තිබ්බ අවශ්‍යතාව සලකලා බලලා. ඒ ගෝඨාභය රාජපක්ෂගේ ඉතිරි ධුර කාලය සඳහා. ඊට පස්සෙ වෙන දේවල් ගැන කිසිදු ගිවිසුමකට හෝ එකඟතාවකට එළැඹිලා නෑ. රනිල් වික්‍රමසිංහගෙන් පස්සේ නව ලිබරල්වාදය ගෙනියන්න ඉන්නේ, සජිත් ප්‍රේමදාස කියලා ජනාධිපතිතුමා හිතනවා ඇති. නමුත් ඊළඟ ජනාධිපතිවරණයේ දී අපි අපේ පක්ෂයෙන්, ජාතික ආර්ථිකය දියුණු කරන්න පුළුවන් කෙනෙක් ව ජනාධිපති කරන්න බලාපොරොත්තු වෙනවා. අපි වටා තියන ප්‍රතිපත්තිවලට එකඟ වන අයට විතරයි පොදු ජන පෙරමුණ පක්ෂයක් විදියට ඉදිරියට සහයෝගය දක්වන්නේ''

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද පැවති මාධ්‍ය හමුවක දී මෙලෙස අදහස් පළ කළා.

''ජනාධිපතිතුමා කියපු කතාව නිවැරැදි ව තේරුම් ගත යුතු ව තිබෙනවා. එතුමා කිවුවේ, විපක්ෂ නායකකමත් ආරක්ෂා කරගෙන ජාතික ගැටලු විසඳන්න එකතු වෙන්න කියලා. ජනාධිපති තනතුරටත් ආස නම්, ඒකටත් උදව් කරන්න කැමැතියි කියලා තමා ජනාධිපතිතුමා කිවුවේ''